සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සහ ශ්‍රී ලංකා – පකිස්තාන මිත්‍රත්ව, වෙළෙඳ සහ ආයෝජන සංගමය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයහි කල හදිසි සංචාරය

සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සහ ශ්‍රී ලංකා – පකිස්ථාන මිත්‍රත්ව, වෙළඳ සහ ආයෝජන සංගමයේ නියෝජිතයින් පිරිසක් පකිස්ථාන දූත කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ගරු තන්වීර් අහමඩ් මහතා අද (2021.12.04) හමුවී පකිස්ථානයේ සියල්කොට්හි සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයාගේ අමානුෂික ඝාතනය හෙළා දකිමින් හා පකිස්තාන හමුදාවන් සහ එම නින්දිත ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධයෙන් සැකකරුවන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනිමින් පකිස්ථානයේ ආරක්ෂක අංශ ගත් කඩිනම් ක්‍රියාමාර්ගය අගය කරමින් ලිපියක් භාරදුන්නේය. තවද, සැකකරුවන් කඩිනමින් නීතියේ හස්තයට ඉදිරිපත් කරන ලෙසත්, ඔවුන් සිදු කළ අපරාධවලට එම වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

අපගේ මිත්‍ර ජාතීන් දෙක අතර පවතින සහෝදරත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ජාතීන් දෙක අතර අනවශ්‍ය ප්‍රශ්න මතුවන කිසිදු ක්‍රියාවක් අනුමත නොකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියෝය. පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවත්, එයට සිය බලවත් කණගාටුව පළ කරන බවත්ය.

බෞද්ධ බහුතර ජනතාව සහ අනෙකුත් ජනවර්ග අතර ඇති බැඳීම ශක්තිමත් කිරීමට ඔවුන් කැපවන බවත්, මෙම නින්දිත සිදුවීමට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව ගතයුතු නීතිමය පියවර පිළිබඳව අප හට දැනුවත් කරන බවත් මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අවධාරණය කළහ.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් අෂ්-ෂේක් එම්. අර්කම් නූරාමිත්, සහකාර ප්‍රධාන ලේකම් අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම් සහ සහකාර භාණ්ඩාගාරික ආචාර්ය අස්වර් අසාහිම් යන පිරිස මෙම හමුවට සහභාගී වූහ.

 

මාධ්‍ය අංශය

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *