සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් – ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන්

ACJU/NGS/2022/086

2022.04.07 (1443.09.05)

 

ඉස්ලාමය යනු නිරෝගීත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන දහමකි. සෞඛ්‍යය සම්පන්න ජීවිතය වනාහි සර්වබලධාරී අල්ලාහ් විසින් මිනිසාට ලබා දුන් උතුම්ම ආශිර්වාදයක් ලෙස ඉස්ලාමය සලකන්නේය. ඇත්ත වශයෙන්ම, එය ඊමානය හෙවත් ධාර්මික විශ්වාසයට පසු උතුම්ම ආශිර්වාදයයි. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “බොහෝ මිනිසුන් ආශීර්වාද දෙකක් පිළිබඳව නොසැලකිලිමත්ව සිටිති. එනම්, නිරෝගීත්වය සහ විවේකය වේ.” (බුහාරි) අපට නිරෝගී ජීවිතයක් ලබා දීම ගැන අපි සර්වබලධාරී අල්ලාහ්ට ස්තුතිවන්ත වෙමු.

 

යහපත් සෞඛ්‍යයක් ඇතිව අප කළකම් ගැන අපි මරණින් මතු විනිශ්චය දිනදී අල්ලාහ්ට පිළිතුරු දිය යුතුය. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ: “මිනිසා තම ජීවිතය ගත කළේ කෙසේද? ඔහු තම දැනුම භාවිත කළේ කෙසේද? ඔහු මුදල් වියදම් කළේ කෙසේද? සහ ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය පවත්වා ගත්තේ කෙසේද?” යනුවෙන් සෑම ගැත්තෙකුගෙන්ම අසන තුරු විනිශ්චය දිනයේදී කිසිවෙකුට තම ස්ථානයෙන් ඉවත් වීමට ඉඩ නොදේ.” (තිර්මිදි)

 

මෙම ආශිර්වාදය ආරක්ෂා කිරීම සහ එයට කිසිඳු අනිසි භාවිතයකින් හානියක් සිදු නොවීමට වගබලා ගැනීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමකි.

 

සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “කිසිඳු සමූහයක් ඔවුන් සමග වූ (යහමගට රැගෙන යන) දෑ (පිටුපෑමක් ලෙස) වෙනස් කරගන්නා තුරු අල්ලාහ් ඔවුනට කළ කිසිඳු දායාදයක් (ව්‍යසනයක් ලෙස) ඔහු වෙනස් කරන්නෙකු නොවීමය. තවද අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය සර්වඥය.” (අල්-කුර්ආනය 8:53)

 

අහිතකර ආහාර පුරුදු, අවිධිමත් දෛනික ක්‍රියාකාරකම්, අඩු නින්ද සහ ඉස්ලාමය දැඩි ලෙස තහනම් කරන මත්ද්‍රව්‍ය භාවිතය පුද්ගලයෙකුගේ සෞඛ්‍යය තත්ත්වය විනාශ කළ හැකි බව අමතක නොකළ යුතුය.

 

අල්-කුර්ආනයේ සහ නබිපිළිවෙත්හි සෑම මුස්ලිම්වරයෙකුටම තම සෞඛ්‍යය තත්ත්වය ආරක්ෂා කර ගන්නේ කෙසේද සහ ඔහුගේ සෑම අවයවයක්ම රැකබලා ගන්නේ කෙසේද යන්න උගන්වන ඉගැන්වීම් රාශියක් ඇත. “වුළු” නම් අර්ධදෝවනය සහ “ගුස්ල්” නම් ස්නානය ඉන් ප්‍රධාන වේ. මෙය සලාතය සහ අනෙකුත් නැමදුම් සඳහා ප්‍රධාන කොන්දේසියක් ලෙසද සැලකේ. දත් මැදීම, නිතර අත් සේදීම, නිය කැපීම, ඇතැම් පෙදෙස්වල කෙස් ඉවත් කිරීම සහ චර්මච්ඡේදනය සිදු කිරීම අපගේ සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කරන විෂයන් බව ඉස්ලාමය අපට උගන්වයි.

 

අපගේ සෞඛ්‍යය තත්ත්වය නිසි ලෙස ආරක්ෂා කිරීම ද විවාහයේ වැදගත් අරමුණක් ලෙස සැලකේ. දෛනික පස්වේල සලාතය ඉටු කිරීම සහ උපවාසශීලය ඉටුකිරීම පවා අපගේ නිරෝගිත්වය වැඩි දියුණු කරන බව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉගැන්වූහ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඉස්ලාම් දහම අපට උගන්වා ඇති කරුණු පිළිබඳව අප නොසැලකිලිමත්ව සිටීම කණගාටුවට කරුණකි.

 

වර්ෂ 1948 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආරම්භ කිරීම සැමරීම සඳහා සෑම වසරකම අප්‍රේල් 7 වන දින ලෝක සෞඛ්‍ය දිනය ලෙස සමරනු ලබයි. මෙම දිනය සඳහා සෑම වසරකම, ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන තේමාවක් තෝරා ගන්නා අතර, 2022 වසරේ ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ “අපේ ලෝකය, අපේ සෞඛ්‍යය” යන්නයි.

 

ඉස්ලාම් දහම උගන්වා ඇති සෞඛ්‍ය සම්පන්න ජීවිතය නිසි අයුරින් පිළිපැදීමටත්, අප සියලු රට වැසියන් නිරෝගී ජාතියක් ලෙස වැජඹීමටත් සර්වබලධාරී අල්ලාහ් අපට ආශිර්වාද කරත්වා!

 

අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්
මහලේකම් (වැඩබලන)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *