යොමු අංකය: ACJU/NGS/2022/342
2022 සැප්තැම්බර් මස 21 වෙනිදා (1444.02.24)
ළමාවිය ඉතා සොඳුරු සමයකි. හිතේ කිසිඳු බරක් කරදරයක් නොමැතිව සතුටින් නිදහස විඳිය හැකි සමයකි. සාමාන්‍යයෙන් දරුවෙකු වැඩිවියට පත්වන කාලය දක්වා ළමා විය ලෙස හඳුන්වනු ලැබේ.
දරුවන් අහිංසක හා මෘදු මොළොක් හදවත් ඇත්තන් වෙයි. ඔවුන් වැඩෙන පැළෑටිය. පුංචි මල් කුකුලු ය. ඔවුන් සමඟ ආදරයෙන් කරුණාවෙන් කටයුතු කිරීම අපගේ යුතුකමකි.
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ, “දරුවන්ට දයාව නොදක්වන සහ වැඩිහිටියන්ට ගරු නොකරන තැනැත්තා අපෙන් කොනෙකු නොවේ.” (මූලාශ්‍රය: තිර්මිදි)
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇත. ඔවුන් හමු වූ විට ඔවුනට සලාම් පවසනු ඇත. ඔවුන් සමඟ සුහදව කතාබහ කරනු ඇත. ඔවුන් වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කරනු ඇත. සිප වැළඳ ගනු ඇත. ඔවුන්ගේ ක්‍රියාකාරිකම් අනුමත කරනු ඇත. ඒවා රස විඳිනු ඇත. ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසනු ඇත. ඔවුන්ව පිටේ තබාගෙන අශ්වයෙකු මෙන් සෙල්ලම් කරනු ඇත. ඔවුන්ගේ හැඟීම් සහ අයිතිවාසිකම් සඳහා වැදගත්කමක් ලබා දෙනු ඇත.
නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතය තුළ මේ සියල්ලට බොහෝ උදාහරණ සහ සුන්දර සිදුවීම් එක්කාසු කළ හැක.
ඉස්ලාම් දහම තුළින් මිනිසුන් අතර දුර්වලම අය කෙරෙහි නිසි අවධානය යොමු කර ඇත. ළමාවිය මෙන්ම මහළුවිය ද ඉන් එකකි. අල්ලාහ් අල්-කුර්ආනයේ මෙසේ සඳහන් කරයි.
“අල්ලාහ්මය නුඹලාව දුබල දැයකින්(ශුක්‍රාණුව) මැව්වේ. ඉන්පසුව ඔහු දුබලත්වයට(ළදරු වියට) පසු බලවත්භාවයට(තරුණ වියට) පත් කළේය. පසුව බලවත්භාවයට පසු (යළි) දුබලත්වයට හා මහලු වියට ද පත් කළේය…” (අල්-කුර්ආනය 30:54)
අප නිවෙස්වල සිටින වැඩිහිටියන් ආදරයෙන් කරුණාවෙන් රැකබලා ගත යුතු අතර ඔවුන්ට ගෞරවයෙන් සැලකිය යුතුයි.
ළමුන් අපගේ දෑසේ සිසිලස ගෙන දෙන අතර වැඩිහිටියන් අපට ලැබුණු අත්දැකීම් වෙයි. මෙම දෙපාර්ශ්වය දෙවියන් ගෙන් අපට ලැබුණු ආශිර්වාදයකි.
ළමුන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔක්තෝබර් 01 වෙනිදා ජාත්‍යන්තර ළමා දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර වැඩිහිටියන් සැමරීම සඳහා ජාත්‍යන්තර වැඩිහිටි දිනය ලෙසද එදින ම ප්‍රකාශයට පත් කර ඇත.
මෙවර ළමා දිනය “සෑම දරුවෙකුටම ඉතා හොඳ අනාගතයක්” යන තේමාවෙන් සහ වැඩිහිටි දිනය “වෙනස් වන ලෝකයක වැඩිහිටියන්ගේ පසුබැස්ම” යන තේමාවෙන් ගෝලීය වශයෙන් සමරනු ලබයි.
අප සියලු දරුවන්ගේ අනාගතය සෞභාග්‍යමත් වී, අප වැඩිහිටියන් නිරෝගී සහ සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමටත් අප සැමට දෙලොව සාර්ථක වීමටත් සර්වබලධාරී අල්ලාහ්ගෙන් අපි ප්‍රාර්ථනා කරමු.
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව