1444 වන ඉස්ලාමීය නව අවුරුදු උදාව උදෙසා සමස්ත ලංකා ජම්ඉයියයතුල් උලමා සභාවේ පණිවිඩය

ACJU/NGS/2022/243
2021 අගෝස්තු මස 10 වෙනිදා/1442.12.30

“සර්වබලධාරී අල්ලාහ්! මෙම නවසඳ සමග අභිවෘද්ධිමත් බව, විශ්වාසය, ඉස්ලාමය සහ සාමය අපට උදා කරනු මැනව! මාගේ සහ (නවසඳ වන) ඔබගේ ස්වාමියා සර්වබලධාරී අල්ලාහ් ය”

අප රටේ පවතින සියලු අර්බුදකාරී තත්ත්වයන් දුරු වී සියලු ජනතාව සතුටින් හා සමෘද්ධිමත් ලෙස ජීවත් වීමට මෙම හිජ්රි 1444 ඉස්ලාමීය නව වසරේ අල්ලාහ් අප සැමට ආශිර්වාද කරත්වා!

අල්-කුර්ආනය සහ නබිපිළවෙත් පදනම් කරගනිමින් ඉස්ලාමීය හිජ්රි දින දර්ශනය කාලානුක්‍රමිකව භාවිත කරන අතර එතුළින් මුස්ලිම්වරුන්ගේ ජීවිතයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මුස්ලිම්වරුන්ට අනිවාර්ය වූ ප්‍රධාන වන්දනාමාන අතුරින් වාර්ෂික සකාත් දන්දීම, උපවාසශීලය සහ හජ් වන්දනය වැනි ආගමික වතාවත් ඉටු කිරීම සඳහාද මෙය අත්‍යාවශ්‍ය කරුණක් වේ.

හිජ්රි දින දර්ශනය යනු ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයයි. එය චන්ද්‍ර මාස දොළහකින් සමන්විත වන අතර සෑම මසකම නවසඳ බලා එය තීරණය වේ. එනම්; මුහර්රම් (පළමු මාසය), සෆර්, රබීඋනිල් අව්වල්, රබීඋනිල් ආකිර්, ජුමාදල් ඌලා, ජුමාදල් ආකිරා, රජබ්, ෂඃබාන්, රමළාන්, ෂව්වාල්, දුල් කඃදා, දුල් හිජ්ජා.

සර්වබලධාරී අල්ලාහ්, අල්-කුර්ආනයේ මෙසේ පවසයි: “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි.” (පරිච්ඡේදය: අත්-තව්බා, වාක්‍යය: 36)

ඉස්ලාමීය හිජ්රි දින දර්ශනයට අනුව මාසයක් යනු දින 29 කින් හෝ දින 30 කින් සමන්විත විය හැකිය. මේ අනුව, වසරකට දින 354 ක් හෝ 355 ක් තිබිය හැකිය. ඉස්ලාමීය හිජ්රි දින දර්ශනයේ අවුරුද්දක දින ගණන ග්‍රෙගෝරියානු සූර්ය දින දර්ශනයේ දින ගණනට වඩා දින දහයක් හෝ එකොළහක් අඩුව දැකිය හැකිය. ඉස්ලාමීය හිජ්රි දින දර්ශනය ශුද්ධ මාස හතරක් සහිත මාස දොළහක චන්ද්‍ර දින දර්ශනයක් පමණක් නොවන අතර එය මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව ගෙන දෙන විෂයක්ද වන්නේය.

නව හිජ්රි වර්ෂයේ නව උදාව තුළින් නබි මුහම්මද් (සල්) තුමාණෝ මදීනා දේශය වෙත සංක්‍රමණය කිරීම සිහිපත් කෙරෙන අතර එහි මුළු ලෝකයට ආදර්ශයක් වශයෙන් පිහිටුවන ලද මදීනා ප්‍රඥප්තිය අපට සිහිපත් කර දෙයි. එය සහජීවනය, යහපැවැත්ම, යුක්තිය, සාධාරණත්වය, දේශප්‍රේමය යන සෑම අංශයක්ම මූර්තිමත් කරන අතරම වර්තමාන ශ්‍රී ලාංකික හා ගෝලීය පැවැත්මට අදාළ කරුණු ඉදිරිපත් කරන ව්‍යවස්ථාවකි.

සර්වබලධාරි අල්ලාහ්, උදාවූ මෙම හිජ්රි 1444 නව අවුරුදු උදාවේ අපගේ දේශය තුළ සහ ගෝලීය වශයෙන් සාමය හා සමගිය වර්ධනය කර, විශේෂයෙන්ම අපේ රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉක්මණින් දුරු කරත්වායි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ප්‍රාර්ථනා කරයි.

 

මුෆ්ති එම්.අයි.එම්.රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *