ACJU/NGS/2022/051
2022 මාර්තු මස 02 වෙනිදා
පසුගිය පෙබරවාරි 28 වැනි දින සමාජ මාධ්‍ය නාලිකාවක පවත්වන ලද සාකච්ඡාවකදී, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීම සඳහා මූලික වූයේ ශුද්ධ වූ අල්-කුර්ආනය බවට ආන්දෝලනාත්මක පුද්ගලයෙකු විසින් සිදුකළ ප්‍රකාශය සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පිළිකුළෙන් යුතුව දැඩි සේ හෙළාදකියි.
අල්-කුර්ආනය යනු සාමය, එකමුතුව හා සහජීවනය දේශනා කරන ආගමික ග්‍රන්ථයකි. එහි අඩංගු ඉගැන්වීම් ඒ බව සනාථ කරයි. මනුෂ්‍ය වර්ගයා සඳහා වූ ආශිර්වාදයක් ලෙස මෙලොවට එවන ලද නබි මුහම්මද් තුමාණෝ (එතුමාට ශාන්තිය හා සමාදානය අත්වේවා!) මුළු ලෝකයේම සාමය හා එකමුතුව ස්ථාපනය කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
නබි මුහම්මද් තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය අත්වේවා!) සහ අල්-කුර්ආනය අනුගමනය කරන ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 9.7%ක් සහ ලෝක ජනගහනයෙන් බිලියන 1.8ක් වන අතර, එවන් විශාල සංඛ්‍යාවක අනුගාමිකයන් පිළිපදින ආගමික ශාස්තෘවරයාට සහ මූලික ආගමික ග්‍රන්ථයට නිගරු වන ආකාරයෙන් භාෂණයන් සහ ප්‍රකාශනයන් නිකුත් කිරීම, දේශීය තලයේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම්වලට රිදවන්නකි. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් අන් අයගේ හැඟීම්වලට රිදවීම සහ ජනතාවගෙන් එක්තරා කොටසකගේ පරමාදර්ශයන්ට නිග්‍රහ කිරීම වහාම තහනම් කළ යුතු අතර, එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා නිසි පියවර ද ගත යුතුය.
සිය පුද්ගලික අරමුණු හා අභිලාෂයන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් එවැනි කුපිත කරන සුළු ප්‍රකාශ නිකුත් කරමින්, ජනතාව අතර අර්බුද සහ ප්‍රචණ්ඩත්වය වපුරන පුද්ගලයන්ට එරෙහිව වහාම නිසි පියවර ගන්නා මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව අදාළ බලධාරීන්ගෙන් දැඩි සේ ඉල්ලා සිටියි.
මේ අවස්ථාවේ දී ඉවසිලිවන්තව හා අවදානම්ව කටයුතු කරන මෙන් හා ඉතිහාසයේ ද මේ ආකාරයට මුස්ලිම්වරු කුපිත කර ප්‍රශ්න උද්ගත කළ පුද්ගලයන් සිටි බැවින්, යළිත් එසේ කිරීමට සැරසෙන පුද්ගලයන් පිළිබඳව පරිස්සම් සහගතව සහ අවධානයෙන් පසුවන මෙන් මුස්ලිම් ප්‍රජාවෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉතා කාරුණිකව ඉල්ලා සිටියි.
වස්සලාම්
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව