Researched Fatwa
අසුන්හි වාඩි වී සලාතය ඉටු කිරීමේ නීතීන්
Question
Fatwa
ACJU/FTW/2016/01-0227
18.01.2016 (07.04.1437)
සහෝදරවරුනි, අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ..
සියලූ ප‍්‍රශංසාවන් අල්ලාහ්ටම හිමිවේ. සලාතය හා සලාමය ඔහුගේ අවසන් දූතයා වන මුහම්මද් ﷺ තුමාණන් කෙරෙහි ද එතුමාණන්ගේ පවුලේ සැවෝම කෙරෙහි ද එතුමාණන්ගේ සමීපතයන් කෙරෙහි ද ඇති වේවා.!
පොදුවේ බැලූ කල වර්තමානයේ මස්ජිදයන් තුළ අසුන්වල වාඩි වී සලාතය ඉටු කරන බැතිමතුන්ගේ සංඛ්‍යාවෙහි ඉතා සීග්‍ර වර්ධනයක් දක්නට ලැබේ. ඔවුන්ගෙන් බහුතරයක් පිරිස වලංගු කාරණාවකින් තොරව අසුන්වල වාඩි වී සලාතය ඉටු කරන්නෝය. පොදුවේ ෆර්ල් සලාතයන්හි සිටගෙන සලාතය ඉටු කිරීම ද සුජූද්හි නලළ, දණහිස් දෙක, දෙඅත්ලයන් හා දෙපා යන සත් අවයවයන් පොළොවෙහි ස්පර්ශ වන පරිදි සුජූද් කිරීම ද අනිවාර්යය වේ. මෙම සත් අවයවයන්ගෙන් ඇතැම් අවයවයන් මත පමණක් සුජූද් කළ හැකි තත්ත්වයක යමෙකු පසු වන්නේ නම් ඔහු ඒවායින් හැකි අවයවයන් හෝ පොළොවෙහි ස්පර්ශ වන පරිදි සුජූද් කිරීම අනිවාර්යය වේ.
ෆර්ල් සලාතයන්හි තමා හැකි තාක් සිටගෙන සලාතය ඉටු කිරීමට උත්සාහ කර එලෙස ඉටු කිරීමට නොහැකි වූ තත්ත්වයෙහි පමණක් වාඩි වී සලාතය ඉටු කිරීමට ඉස්ලාමයෙහි අවසර ඇත. එබැවින් සලාතය සඳහා අසුන් භාවිතා කරන උදවිය ඒ පිළිබඳව ආගමික නීතීන් දැන සිටීම අත්‍යවශ්‍ය වේ.
නබි ﷺ තුමාණන්ගේ සමයේ දී අසුන් භාවිතාවෙහි තිබුණු නමුත් නබි ﷺ තුමාණන් හෝ සහාබාවරුන් සිට ගෙන සලාතය ඉටු කළ නොහැකි තත්ත්වයක දී අසුන් භාවිතා කල බවක් ඉතිහාසයේ සඳහන් වී නොමැත. එයට වෙනස්ව එවැනි තත්ත්වයක දී ඔවුන් සලාතය ඉටු කර ඇත්තේ පොළොවෙහි වාඩි වෙමින්ය. මෙය පහත සඳහන් හදීසය තුළින් මැනවින් පැහැදිලි වේ.
නබි ﷺ තුමාණන් අසු පිට ගමන් කරන අවස්ථාවක දී බිමට වැටුණු හෙයින් කකුලෙහි තුවාලයක් ඇති වූ විට පොළොවෙහි වාඩි වී සලාතය ඉටු කළහ.” (මූලාශ‍්‍රය: සහීහුල් බුහාරි : 689 ) එබැවින් පොදුවේ මෙවන් අවස්ථාවක සලාතයන් ඉටු කිරීමේ දී අසුන් භාවිතා කිරීමෙන් වැළකී පොළොව මත වාඩි වී සලාතය ඉටු කිරීම ඉතා යෝග්‍යමත් ක‍්‍රමය වේ.
අනිවාර්යයෙන්ම අසුන් භාවිතා කළ යුතු වන්නේ නම් එවැනි විශේෂ අවස්ථාවන්හි පමණක් නියමිත කොන්දේසීන් මත සලාතයන්හි අසුන් හාවිතා කළ හැක. මේවා සැලකිල්ලට ගෙන *අසුන්හි වාඩි වී සලාතය ඉටු කිරීමට අනුමැතිය ඇති හා අනුමැතිය නොමැති අවස්ථාවන්* පහත විස්තර කොට ඇත.
1. සිටගෙන පමණක් සිටිය හැකි නමුත් රුකූඃ හා සුජූද් නිසියාකාරව කිරීමට හෝ පොළොව මත වාඩි වීමට හෝ නොහැකි අය:
මොවුන් සිටගෙන සිටීමත් සමඟම රුකූඃ හා සුජූද් අවස්ථාවේ දී සිටගෙන සිටින තත්ත්වයේ සංඥා කිරීම තුළින් මඳක් පහත නැමී එය ඉටු කළ යුතුයි. හැකි නම් සුජූද් කිරීම සඳහා, රුකූඃ කිරීමට පහත නැමෙන ප‍්‍රමාණයට වඩා මඳක් අධිකව පහත නැමීම අනිවාර්යය වේ. එනමුත් බොහෝ වේලාවක් සිටගෙන සිටීමට අපහසු තත්ත්වයක පසුවන්නේ නම් සිටගෙන සිටිය යුතු අවස්ථාවේ දී හා අත්තහිය්යාත් අවස්ථාවේ දී පමණක් අසුනෙහි වාඩි වීමට අවසර ඇත.
2. සිටගෙන සිටීමට හා නිසියාකාරව රුකූඃ කිරීමට හැකි නමුත් සුජූද් කිරීමට හා පොළොව මත වාඩි වීමට නොහැකි අය:
මොවුන් රුකූඃ සඳහා පහත නැමෙනවා සේ සිටගෙනම සුජූදය ද පහත නැමී ඉටුකළ යුතුයි. සිටගෙන සිටින තත්ත්වයේම අත්තහිය්යාතය පාරායනා කළ යුතුයි. බොහෝ වේලාවක් සිටගෙන සිටීමට අපහසු තත්ත්වයක පසුවන්නේ නම් සිටගෙන සිටිය යුතු අවස්ථාවේ දී හා අත්තහිය්යාත් අවස්ථාවේ දී පමණක් අසුන භාවිතා කිරීමට අවසර ඇත.
3. සිට ගැනීමට නොහැකි, නමුත් සුජූදය නිසියාකාරව ඉටු කිරීමට ශක්තිය ඇති අය:
මොවුන් පොළොව මත තමන්ට පහසු ඉරියව්වකින් වාඩි වී සලාතය ඉටු කළ යුතුයි. තවද සිටගෙන සිටිය යුතු තත්ත්වයේ පාරායනා කළ යුතු දෑ පාරායනා කළ පසු තම හිස සුජූදයෙහි තබන ස්ථානයට කෙලින් ගෙන ඒම තුළින් රුකූඃ කළ යුතුයි. මෙය වාඩි වී සලාතය ඉටු කරන්නාගේ රුකූඃ වේ. වාඩි වී රුකූඃ සඳහා පහත නැමෙන විට සුජූදයෙහි හිස තබන ස්ථානයට කෙලින් හිස පවතින පරිදි පහත නැමීම පරිපූර්ණ ක‍්‍රමය වේ. අවම වශයෙන් දණහිසට කෙලින් හිස පවතින පරිදි පහත නැමීම අනිවාර්යය වේ.
එයට පසුව සාමාන්‍ය ක‍්‍රමයට සුජූදය ඉටු කළ යුතුය. එනමුත් බොහෝ වේලාවක් පොළොව මත වාඩි වීමට නොහැකි නම් සුජූදය නිසියාකාරව ඉටු කළ පසු අත්තහිය්යාත් සඳහා අසුන් ගත හැකිය.
4. සිට ගැනීම, රුකූඃ කිරීම හා සුජූද් කිරීම යන අනිවාර්යය කටයුතු සියල්ල නිසියාකාරව ඉටු කිරීමට නොහැකි අය:
මෙවැන්නන් පොළොව මත වාඩි වී රුකූඃ හා සුජූදය වාඩි වූ තත්ත්වයේම ඉටු කළ යුතු නමුත් රුකූඃයට වඩා සුජූදය මඳක් පහත් කර ඉටු කිරීම සුදුසුය. මොවුන් හට අසුනෙහි වාඩි වී ඉහත සඳහන් ක‍්‍රමයට අනුව ඉටු කිරීමට ද අනුමැතිය ඇත.
5. සිට ගැනීම, රුකූඃ කිරීම හා සුජූද් කිරීම යන තුනම නිසියාකාරව ඉටු කිරීමට හැකි වුව ද සිට ගැනීමේ තත්ත්වයේ සිට පොළොව මතට පැමිණීමට හෝ අසුන් ගත් පසු නැගිටීමට අපහසු තත්වයේ පසුවන අය:
මෙවැන්නන් පොළොව මත වාඩි වී සලාතය ඉටු කරන අතර සිට ගැනීම අනිවාර්යය නොවේ. මන්දයත් සිට ගැනීමට වඩා සුජූදය නිසියාකාරව ඉටු කිරීමම වැදගත් වේ. මෙවැනි අය අසුන්හි වාඩි වී සලාතය ඉටු කිරීමට අනුමැතිය නැත.
සටහන :
පළමු වන අත්තහිය්යාත් ඉඳුම, අවසන් අත්තහිය්යාත් ඉඳුම, එරමිණිය ගොතා ඉඳගැනීම, දෙපා හිටවා ඉඳගැනීම වැනි කුමන ආකාරයෙන් හෝ තමන්ට පහසු අන්දමින් පොළොව මත වාඩි වී සලාතය ඉටු කළ හැකිය.
අසුන් මත වාඩි වී සලාතය ඉටු කරන්නන් සෆ් වලට බාධාවක් ඇති නොවන අන්දමින් අසුන්හි පසු කකුල සෆ්හි ඉර මත තබාගත යුතුයි. තවද සලාතය ඉටු කරන අනෙකුත් බැතිමතුන් හට බාධා ඇති නොවන අන්දමින් මස්ජිදයේ බිත්තිවලට මායිම් වන පරිදි අසුන් තබා ගැනීම උචිතය.
ආලිම්වරුන් ඉහත සඳහන් ක‍්‍රමවේදයන් පැහැදිලිව අවබෝධ කරගෙන මස්ජිදයන්හි මේ සඳහා විශේෂ ‘ෆික්හ්’ පංති පවත්වා පොදු ජනයින් දැනුවත් කිරීම ඉතා වැදගත් වේ.
සෑම කෙනෙකුම ඉහත කී තත්ත්වයන්ගෙන් තමාට අදාළ වන අවස්ථාව වටහා ගෙන නිසියාකාරව සලාතය ඉටු කිරීම සලාතයන් පිළිගනු ලැබීමට හේතුදායක වේ.
වස්සලාම්.
සර්වඥ වනුයේ අති උත්තරීතර අල්ලාහ්මය.
අෂ්-ෂෙයික් : එම්. එම්. ඒ. මුබාරක් (ගෆූරි)
පොදු ලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් : අයි. එල්. එම්. හාෂිම් සූරි
ලේකම්,ෆත්වා කමිටුව
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
මුෆ්ති එම්. අයි. එම්. රි‘ස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
