01. සූරා අල් ෆාතිහා (ආරම්භය)

මෙම සූරාව* අල් කුර්ආනයේ පළමුවන සූරාවයි (පරිච්ඡේදයයි). සම්පූර්ණ පරිච්ඡේදයක් ලෙසින් පහළ කරනු ලැබූ ප්‍රථම සූරාව මෙය වේ. සම්පූර්ණ අල් කුර්ආනයේම සාරාංශය මෙම පරිච්ඡේදයෙන් පිළිබිඹු වන හෙයින් එය අල් ෆාතිහා එනම් ‘ආරම්භය’ ලෙස නම් කොට ඇත. අල් ෆාතිහා පරිච්ඡේදයෙන් ඉදිරිපත් කොට ඇති කරුණු වල විග්‍රහයක් ලෙස අල් කුර්ආනයේ ඉතිරි පරිච්ඡේද සැලකේ. අල් කුර්ආනයෙන් නිසි ප්‍රයෝජන ලබන්නට නම් නිර්මාතෘ වන අල්ලාහ්ගේ මූලික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් අවශ්‍යය. එමෙන්ම එමගින් නිවැරදි මග පෙන්වීමක් අපේක්ෂා කිරීම හා අවංක සත්‍යය සොයන්නෙකු ලෙසින් විවෘත මනසකින් එය කියවා අවබෝධ කරගැනීමට ද ප්‍රයත්න දැරිය යුතු වන්නේය. මෙම පරිච්ඡේදයේ මූලික තේමාව නිවැරදි මග පෙන්වීම අපේක්ෂා කරන අයෙකු උත්තරීතර අල්ලාහ්ට කෙලෙස නැමදීම හා ඇයැදීම කළ යුතු ද යන්න පිළිබඳව සංක්ෂිප්ත උපදෙස් මාලාවකි. සම්පූර්ණ අල් කුර්ආනයම මෙම පරිච්ඡේදයට පසුව සකස් වී ඇත්තේ මෙම උත්තරීතර අපේක්ෂාවන් සාක්ෂාත් කරගත හැක්කේ කෙසේ ද යන්න පැහැදිළි කර දීමේ කාර්යයට ය.

01 සූරා අල් ෆාතිහා (ආරම්භය)
මෙය මක්කී* පරිච්ඡේදයකි. ආයතයන් 7 කි.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ ‎﴿١﴾‏

(1) සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ‎﴿٢﴾‏

(2) සියලු පැසසුම් සමස්ත විශ්වයේ1 රබ්(පරමාධිපති)2 වන අල්ලාහ් සතුය.

1) මෙහි අන්තර්ගත අරාබි පදය නම් ‘ආලමීන්’ යන පදයයි. එම වචනයට සමස්ත විශ්වය හා එහි අන්තර්ගත සියලු නිර්මිත දෑ යන ආසන්න අර්ථය දෙනු ලැබූව ද මෙහි දී ‘සමස්ත විශ්වය’ යනුවෙන් භාවිත කර ඇත්තෙමු.
2) ‘රබ්’ යන වචනයෙන් ‘විශ්වය මවා එය පරිපාලනය කොට පෝෂණය කොට රැකවරණය සපයා පවත්වාගෙන යන්නා’ යන අදහස ලබා දෙයි. මේ සඳහා කෙටියෙන් ‘පරමාධිපති’ යනුවෙන් මෙහි දී හඳුන්වා ඇත්තෙමු.

الرَّحْمَٰنِ الرَّحِيمِ ‎﴿٣﴾  

(3) සැමට කරුණාභරිත හා පරම කරුණාභරිත වූත්,

مَالِكِ يَوْمِ الدِّينِ ‎﴿٤﴾

(4) විපාක ප්‍රදාන දිනයේ අධිපති වූත් (අල්ලාහ්ටමය සියලු පැසසුම්).

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ‎﴿٥﴾  

(5) අපි ඔබවම පමණක් නමදින්නෙමු. ඔබගෙන්ම පමණක් උපකාර පතන්නෙමු.

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ ‎﴿٦﴾

(6) අපව ඍජු මගට රැගෙන යනු මැනව!

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ ‎﴿٧﴾

(7) (එය කෙසේද යත්) ඔබ කවුරුන් කෙරෙහි ආශිර්වාද කළෙහි ද3 ඔවුන්ගේ මගයි. ඔබගේ උදහසට ලක්වූවන්ගේ හා වැරදි මාර්ගයෙහි ගියවුන්ගේ මග නොවේ.

3) විස්තර සඳහා අල් කුර්ආන් 4:69 වන ආයතය බලන්න.