සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක කමිටු සාමාජිකයින් සහ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තුමිය සමග විශේෂ හමුවක්

2025.01.16 දින, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක කමිටු සාමාජිකයින් ‍අතර විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට අප සභාව නියෝජනය කරමින් එහි මහලේකම්, සහකාර මහලේකම්, අනුකමිටු ලේකම්වරුන් සහ සාමාජිකයින් කිහිප දෙනෙකු එක්ව සිටියහ.

එම රැස්වීමේදී අප සභාවේ ඉතිහාසය සහ අතීත ක්‍රියාකාරකම් පිළිබඳව හැඳින්වීමක් සිදු කරන ලද අතර අප විසින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට අවශ්‍ය මගපෙන්වීම් සපයන බව පැහැදිලි කරන ලදී.

එමෙන්ම ඉස්ලාමීය විද්වතුන් විසින් රට ජාතියට කරන ලද සේවය සහ මුස්ලිම් ජනතාව අධ්‍යාපනික වශයෙන් මුහුණ දෙන අභියෝග, අරාබි විද්‍යාලවලට එල්ල වී ඇති අභියෝග සහ ඉස්ලාම් ආගමේ මවුලවි ගුරුවරුන් පත්කිරීමේ ගැටලු ආදී කරුණු පිළිබඳව අග්‍රාමාත්‍ය තුමියට පැහැදිලිව පෙන්වා දෙන ලදී.

පසුව ගරු අග්‍රාමාත්‍ය තුමිය ප්‍රකාශ කළේ තම අධිකාරිය යටතේ සැමට පොදු හා සමාන අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කරන බවත් මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවත්ය.

තවද, පෞද්ගලිකත්වය සහ වෙනස්කම් නොතකා සියලු දෙනාම රටේ පුරවැසියන් යන පදනම මත සියලු දෙනාගේම අයිතීන් සුරැකෙන පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතු බව අවධාරණය කළ අතර ඒ සඳහා මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය ද අවශ්‍ය බව ද ප්‍රකාශ කළාය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තව දුරටත් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද එතුමිය ප්‍රකාශ කළාය.

රැස්වීම අවසානයේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අල්-කුර්ආනයේ සිංහල පරිවර්තනය හා තවත් පොත් කිහිපයක් අග්‍රාමාත්‍ය තුමිය වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා, සහකාර මහලේකම් අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම් තුමා, සහයෝගිතා හා සම්බන්ධීකරණ කමිටුවේ ලේකම් අෂ්-ෂෙයික් එම්. ෆාසිල් ෆාරූක් තුමා, මාධ්‍ය කමිටුවේ ලේකම් අෂ්-ෂෙයික් එම්. රිෆා හසන් තුමා, ලේකම් කාර්යාල පරිපාලක අෂ්-ෂෙයික් ටී. නුමාන් ඔමාර් යන විද්වතුන් ද සහභාගී වූහ.

 

 

– ACJU Media –

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *