ACJU/NGS/2026/78
2026.06.17 (1448.01.01)
මහා කාරුණික අල්ලාහ්ගේ අසීමිත කරුණාවෙන් හා දයාවෙන් තවත් නව ඉස්ලාමීය වසරක් වන හිජ්රි 1448 වසර උදා වූ මෙම සමයේදී, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ශ්‍රී ලංකාවේ ඇතුළු ලෝ පුරා වෙසෙන සියලු මුස්ලිම් ප්‍රජාවට අපගේ හෘදයාංගම සුබ පැතුම් පුද කරමු.
මහා කාරුණික අල්ලාහ් ශුද්ධ වූ අල්-කුර්ආනයේ මෙසේ පවසයි:
“සැබැවින්ම අල්ලාහ්ට ඔහුගේ ගැත්තන් අතුරින් බියවන්නේ ආලිම්වරුන්( වන දැනුම ඇත්තෝ)මය. සැබැවින්ම අල්ලාහ් අති බලසම්පන්නය අති ක්ෂමාශීලීය. (35:28)
මෙම නව වසරේදී අපව අල්ලාහ්ගේ බියභක්තිකයින් බවටත්, යහචරිතවත් හා සමාජ වගකීම් පිළිබඳව වැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන්නන් බවටත් පත් කරන නව ආරම්භයක් වේවා’යි අපි ප්‍රාර්ථනා කරමු.
මුහර්රම් මාසය යනු ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂයේ පළමු මාසය වන අතර, එය ‘අල්ලාහ්ගේ මාසය’ ලෙසද හඳුන්වනු ලබයි. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:
“රමළාන් මාසයෙන් පසු ඉතා උතුම්ම උපවාසශීලය නම්, අල්ලාහ්ගේ මාසය වන මුහර්රම් මාසයේ යෙදෙන උපවාසශීලය යි.” (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්)
එබැවින් මෙම මාසය අපගේ ආධ්‍යාත්මික දියුණුවට හා මානසික පිරික්සුමට අගනා අවස්ථාවකි. පසුගිය වසරේ අපගේ ක්‍රියාවන් සමාලෝචනය කරමින්, වැරදි නිවැරදි කරගෙන, නව වසරේ නිවැරදි මඟෙහි ගමන් කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු කාලයකි.
වර්තමාන ලෝක තත්ත්වය දෙස බලන විට, මිනිස් වර්ගයා විවිධ අභියෝග හා පරීක්ෂාවන්ට මුහුණ දෙමින් සිටී. මැදපෙරදිග ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රදේශවල පවතින යුද තත්ත්වය හේතුවෙන් අහිංසක ජනයා මිය යමින් අවතැන් වී, දරුවන් අනාථ වෙමින් සිටිති.
මෙවන් අවස්ථාවක, අපි මහා කාරුණික අල්ලාහ්ගෙන් පහත පරිදි ප්‍රාර්ථනා කරමු: “යා අල්ලාහ්! ලෝකයේ සෑම ප්‍රදේශයකම සාමය ස්ථාපිත කරනු මැනව. මනුෂ්‍ය වර්ගයා අයුක්තියෙන් මුදවාලනු මැනව.” ආමීන්.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:
“මුස්ලිම්වරයෙකු තවත් මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි. ඔහුට අපරාධ නොකරයි, ඔහුව අතහැර නොදමයි.” (මූලාශ්‍රය: සහීහ් බුහාරි)
ඒ අනුව, ලොව පුරා සිටින අපගේ මුස්ලිම් සහෝදරයන්ගේ දුක් වේදනා අපට දැනිය යුතු අතර, ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම පමණක් නොව, හැකි පමණින් සහාය ලබා දීමද අපගේ වගකීමකි.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පසුගිය කාලයට සාපේක්ෂව යහපත් අතට හැරෙමින් තිබීම සතුටට කරුණකි. මෙම ප්‍රගතිය තිරසාර වශයෙන් පවත්වා ගැනීම සඳහා සියලු ජනතාව එකමුතුව, අවංකභාවයෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.
දූෂණයෙන් වැළකීම, සාධාරණ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වීම සහ සමාජ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම යන කරුණු රටේ ස්ථාවර සංවර්ධනය සඳහා මූලික පදනම් වේ.
මහා කාරුණික අල්ලාහ් මෙසේ පවසයි:
“යහපත කෙරෙහි ද බිය භක්තිය කෙරෙහි ද නුඹලා එකිනෙකා උදව් කර ගනිවු.” (05 : 02)
එබැවින් ආගම, ජාතිය සහ භාෂාව යන සීමාවන් ඉක්මවා මානව හිතවාදිත්වය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අද ඉතා අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.
මුහර්රම් මාසය අපට හිජ්රත් නම් වූ ශ්‍රේෂ්ඨ කැපකිරීම සිහිපත් කරයි. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ ඔහුගේ සහගාමීන් අල්ලාහ්ගේ දහම වෙනුවෙන් සිදු කළ කැපවීම අපට සදාකාලික පාඩමකි. එම කැපවීම අද අපගේ සමාජ සේවාවන්හි, සාධාරණත්වයේ සහ අවංකභාවයේ පිළිබිඹු විය යුතුය.
හිජ්රි 1448 වන නව ඉස්ලාමීය වසරේදී:
- අපගේ සමාජයට සාමය හා ප්‍රගතිය උදා කරත්වා!
- ලෝක මුස්ලිම් ප්‍රජාවට ආරක්ෂාව හා බලාපොරොත්තුව ලබා දෙත්වා!
- ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය හා සෞභාග්‍යය උදා කරත්වා!
- සමස්ත මනුෂ්‍ය වර්ගයාට සාමය, යුක්තිය සහ සහෝදරත්වය උදා කරත්වා!
මුස්ලිම්වරුන් ලෙස අප මෙම ඉස්ලාමීය නව වසර මෙම මඟපෙන්වීම් පිළිපදිමින්, රට පුරා පාසල් සහ ආගමික ආයතනවල ආලිම්වරුන්ගේ සහභාගීත්වයෙන් මුහර්රම් මාසයේ වැදගත්කම සිහිපත් කිරීමේ ආගමික දේශන සහ උපදේශන වැඩසටහන් සංවිධානය කරන ලෙසද ඉල්ලා සිටිමු.
සර්වබලධාරී අල්ලාහ් අපගේ යහපත් ක්‍රියාවන් පිළිගෙන, මෙම නව වසර තුළ අපට අසීමිත යහපත්කම්, ආශීර්වාද සහ කරුණාව පිරිනමනු මැනව! ආමීන්!
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව




