ACJU/NGS/2026/70
2026.05.28 (1447.12.10)
ලොව පුරා බිලියන දෙකකට අධික මුස්ලිම් ජනතාව ඊදුල් අල්හා උත්සවය සමරන මෙම පුණ්‍යමය දිනයේ, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් වන අපටද, අල්ලාහ්ගේ කරුණාවෙන් මෙම ශුද්ධ උත්සවය සැමරීමට ලැබීම මහත් භාග්‍යයකි. අල්හම්දුලිල්ලාහ්.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව, මෙම හජ් උත්සවය සමරන ලොව පුරා සියලුම මුස්ලිම් ජනතාව වෙත සිය හෘදයාංගම ඊදුල් අල්හා සුබපැතුම් හා ශුභාශිංසනය පිරිනමයි.
ඉස්ලාම් ආගමේ මූලික ස්ථම්භ පහෙන් එකක් වන හජ් වන්දනාව ඉටු කිරීම සඳහා, ලොව විවිධ රටවලින් මිලියන 1.6 කට අධික මුස්ලිම් ජනතාවක් මක්කා, මිනා සහ අරෆා යන පූජනීය භූමිවලට එක්රැස් වී සිටිති. ඔවුන් අතර ශ්‍රී ලංකාවෙන් පැමිණි හජ් වන්දනාකරුවන් 3,500 කට ආසන්න පිරිසක්ද මෙම වසරේ හජ් ඉටු කරමින් සිටිති.
අපගේ ආදරණීය නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් අවසාන හජ් වන්දනාවේදී (හජ්ජතුල් වදා’) පවත්වන ලද අරෆා දේශනය, ලෝක සාමය, මානව සමානාත්මතාව, යුක්තිය, මානව හිමිකම් සහ සහෝදරත්වය අවධාරණය කරන සදාකාලික මානවීය ප්රකාශනයක් ලෙස සැලකේ.
එම දේශනය තුළ, මිනිස් ජීවිතයේ ගෞරවය හා පවිත්‍රභාවය, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, අසාධාරණය හා ත්‍රස්තවාදයෙන් වැළකීම, ආර්ථික යුක්තිය සහ සමාජ සහජීවනය පිළිබඳ ගැඹුරු මඟපෙන්වීම් ලබා දී ඇත.
ශුද්ධ වූ අල් කුර්ආනයේ සූරා 25 ක අයත් වාක්‍ය 63 ක් තුළ, නබි ඉබ්රාහීම් (අලෛහිස්සලාම්) තුමා මුහුණ දුන් පරීක්ෂාවන්හිදී පෙන්වූ ඉවසීම, කැපවීමෙන් යුතු ජීවිතය, නොසැලෙන විශ්වාසය සහ අල්ලාහ්ගේ අණට සම්පූර්ණයෙන් යටත් වීම පිළිබඳ අපට සිහිපත් කරයි.
එතුමාගේ ස්ථාවර විශ්වාසය සහ කැපකිරීම්වලින් යුතු ජීවිතය වෙනුවෙන් අල්ලාහ් විසින් ලබාදුන් උසස් ගෞරවය සහ තත්ත්වය, අදටත් මානව වර්ගයාට සදාකාලික ආදර්ශයක් වී ඇත.
මෙම කැපකිරීමේ උත්සවය, අල්ලාහ්ගේ අණට සම්පූර්ණයෙන් යටත් වීම, ඔහු කෙරෙහි ඇති ආදරය හා භක්තිය, කැපවීම, ඉවසීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය (තවක්කුල්), යහපත් දෙමාපියත්වය සහ දෙමාපියන්ට කීකරු වීම වැනි අගනා පාඩම් අපට උගන්වයි. මෙම උතුම් ගුණාංග අපගේ ජීවිතවල ක්‍රියාත්මක කිරීමට අප සැවොම උත්සාහ කරමු. අපගේ පවුල් හා සමාජය තුළ මෙම වටිනාකම් වර්ධනය කරමින් මෙලොව හා පරලොව ජයග්‍රහණ ලබා ගැනීමට අල්ලාහ් අපට ශක්තිය හා හැකියාව ලබාදේවා.
තවද, අද දින පූජනීය භූමිවල එක්රැස් වී සිටින මිලියන සංඛ්‍යාත හජ් වන්දනාකරුවන්ගේ හෘදයාංගම ප්‍රාර්ථනා මඟින්, යුද්ධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ආර්ථික දුෂ්කරතා සහ විවිධ අසාධාරණකම් හේතුවෙන් ලොව පුරා ජනතාව මුහුණ දෙන වේදනා සහ පීඩා අල්ලාහ් ඉවත් කර දේවායි අපි ප්‍රාර්ථනා කරමු.
ශ්‍රී ලංකාවේ පවතින සාමය සඳහා අල්ලාහ්ට ස්තුතිවන්ත වන අතරම, ආර්ථික දුෂ්කරතා හා ජීවනෝපාය ගැටලු හේතුවෙන් ජනතාව මුහුණ දෙන අභියෝග අවසන් වී, අපගේ රට ශක්තිමත් හා සමෘද්ධිමත් ජාතියක් බවට පත්වේවායි ද අපි ප්‍රාර්ථනා කරමු.
එසේම, මානවත්වය, සහජීවනය, සාමකාමී එකමුතුව සහ ජාතික සමගිය යන උතුම් වටිනාකම් ශ්‍රී ලංකාවේ සියලු ජන කොට්ඨාස අතර තවදුරටත් වර්ධනය වීමට අල්ලාහ් මෙම දේශයට ආශිර්වාද කරත්වා!
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉදිියතුල් උලමා සභාව
අෂ් – ෂෙයික් එම්. අර්කම් නුරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ජම්ඉදිියතුල් උලමා සභාව





