1445 වන ඉස්ලාමීය නව අවුරුදු උදාව නිමිත්තෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ පණිවිඩය

ACJU/NGS/2023/182
2023.07.19 (1445.01.01)

“සර්වබලධාරී අල්ලාහ්! මෙම නවසඳ සමග අභිවෘද්ධිය, විශ්වාසය, ඉස්ලාමය සහ සාමය අපට උදා කරනු මැනව! මාගේ සහ (නවසඳ වන) ඔබගේ ස්වාමියා සර්වබලධාරී අල්ලාහ් ය”

උදාවූ හිජ්රි 1445 වන ඉස්ලාමීය නව අවුරුද්දේ දී අප රටේ සහ ගෝලීය වශයෙන් සාමය හා එකමුතුකම ස්ථාවර වී අප රටේ පවතින සියලු අර්බුදකාරී තත්ත්වයන් දුරු වී සියලු ජනයා සතුටින් හා සමෘද්ධිමත් ලෙස ජීවත් වීමට මහා කාරුණික අල්ලාහ් අප සැමට ආශිර්වාද කරත්වා!

හිජ්රි දින දර්ශනය යනු ඉස්ලාමයේ විශාලතම හැරවුම් ලක්ෂ්‍යය වූ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හිජ්රත් හෙවත් සංක්‍රමණය මත පදනම්ව කලීෆා උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන්ගේ පාලන සමයෙහි පිහිටුවන ලද දින දර්ශන ක්‍රමයකි. සෑම ජන සමාජයකටම ආවේණික වූ සංස්කෘතියක් හා සම්ප්‍රදායක් තිබෙනා සේම මුස්ලිම්වරුන්ටද අනන්‍ය වූ භාවිතයක් ඇති කර ගැනීම සඳහා ඉස්ලාමීය ඉතිහාසයේ පුනරුදයක් වූ හිජ්රතය මත පදනම්ව මෙම දින දර්ශන ක්‍රමය හඳුන්වා දෙන ලදී.

මේ අනුව නව හිජ්රි වර්ෂයේ ආරම්භය සිදු වූ අතර මෙතුළින් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හිජ්රත් හෙවත් මදීනාව දෙසට සංක්‍රමණය කිරීම සහ ලොවටම ආදර්ශයක් ලෙස ස්ථාපිත වූ මදීනා ප්‍රඥාප්ති පත්‍රය අපට මතක් කර දෙයි.

මෙම හිජ්රි දින දර්ශනය චන්ද්‍ර මාස දොළහකින් සමන්විත වන අතර සෑම මසකම නවසඳ බලා එය තීරණය වේ. එනම්; මුහර්රම් (පළමු මාසය), සෆර්, රබීඋනිල් අව්වල්, රබීඋනිල් ආකිර්, ජුමාදල් ඌලා, ජුමාදල් ආකිරා, රජබ්, ෂඃබාන්, රමළාන්, ෂව්වාල්, දුල් කඃදා, දුල් හිජ්ජා වේ. මේ අතරින් මුහර්රම්, රජබ්, දුල් කඃදා සහ දුල් හිජ්ජා යන මාසයන් ඉස්ලාම් දහම මගින් ශුද්ධ මාස ලෙස හඳුන්වනු ලැබේ.

අල්-කුර්ආනය සහ නබිපිළවෙත් පදනම් කරගනිමින් ඉස්ලාමීය හිජ්රි දින දර්ශනය කාලානුක්‍රමිකව භාවිත කරන අතර එතුළින් මුස්ලිම්වරුන්ගේ ජීවිතයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මුස්ලිම්වරුන්ට අනිවාර්ය වූ ප්‍රධාන වන්දනාමාන අතුරින් වාර්ෂික සකාත් දන්දීම, උපවාසශීලය සහ හජ් වන්දනය වැනි ආගමික වතාවත් ඉටු කිරීම සඳහාද මෙය අත්‍යාවශ්‍ය කරුණක් වේ.

ඉස්ලාමීය හිජ්රි දින දර්ශනයට අනුව මාසයක් යනු දින 29 කින් හෝ දින 30 කින් සමන්විත විය හැකිය. මේ අනුව, වසරකට දින 354 ක් හෝ 355 ක් තිබිය හැකිය. ඉස්ලාමීය හිජ්රි දින දර්ශනයේ අවුරුද්දක දින ගණන ග්‍රෙගෝරියානු සූර්ය දින දර්ශනයේ දින ගණනට වඩා දින දහයක් හෝ එකොළහක් අඩුව දැකිය හැකිය.

මේ අනුව දිනෙන් දින, සතිය, මාසය සහ වසර වැනි කාලයන් ගෙවී යාම නිසා මිනිසුන් ප්‍රබෝධමත් වීම හා ඔවුන්ගේ සිතුවිලි අලුත් වීම මඟින් මිනිසුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යා යුතු බව ඉස්ලාමය තුළින් අවධාරණය කරයි.

“තවද මෙනෙහි කරන්නට අපේක්ෂා කළවුනට ද කෘතඥ වීමට අපේක්ෂා කළවුනට ද රාත‍්‍රිය හා දහවල පරස්පරානු ගමනෙහි යන්නක් ලෙස ඇති කළේ ඔහුය.” (අල්-කුර්ආනය 25:62)

සර්වබලධාරි අල්ලාහ්, උදාවූ මෙම හිජ්රි 1444 නව අවුරුදු උදාවේ මහා කාරුණික අල්ලාහ් වෙත පශ්චාත්තාප වී, සාමය, සමගිය, සහජීවනය, යහපැවැත්ම, යුක්තිය, සාධාරණත්වය වර්ධනය කරගනිමින්, අප රටටත් ලෝකයටත් ආදර්ශවත් ප්‍රජාවක් ලෙස ජීවත්වීමට ආශිර්වාද කරත්වා!

 

මුෆ්ති එම්.අයි.එම්.රිස්වි

සභාපති

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික්එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *