අද දින කිතුනු දේවස්ථාන හා කොළඹ නගරය ආශ්‍රිත හෝටල් දෙකක පාස්කු සැමරුම් උත්සවයට සම්බන්ධ කටයුතුවල නිරත වෙමින් සිටියදී එල්ල වූ ඉතා නින්දිත ප්‍රහාරය සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

2019 අප්‍රේල් මස 21 වන දින

සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කිතුනු ජනයා වෙත අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර මෙම මොහොතේ දී සහෝදරත්වයේ දෑත් දිගු කොට ඔබ සියලු දෙනා සමඟ එක්සිත් ව සිටින බවට ඉතා හෘදයාංගමව පවසා සිටින්නෙමු. මෙය එක් ජන කොටසකට විශේෂ වූ දිනයක එල්ල කළ ප්‍රහාරයක් වුවද එය සමස්ත ශ්‍රී ලංකාවම කම්පනයට පත් කළ සහ අප සියලු දෙනාම ඉතාමත් කනගාටුවට පත් කර ඇති සෝචනීය දිනයකි.

ආගමික ස්ථාන අවට ආරක්ෂාව මනාව තර කරන ලෙසත් මෙවන් නින්දිත ක්‍රියාවන් කිරීමට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙම අවාසනාවන්ත සහ ඉතා කනගාටුදායක මොහොතේදී තම සහෝදර කිතුනු ජනයාට අවශ්‍ය සහයෝගය, මානසික ශක්තිය හා ආරක්ෂිත බව තහවුරු කිරීමට හැකි සෑම ක්‍රියාවක් සඳහා ම දායකවන ලෙස ශ්‍රී ලංකාවාසි මුස්ලිම් ඇතුලු සියලු ජනයාගෙන් ද විශේෂයෙන්ම මුස්ලිම් දේවස්ථාන භාරකාර මන්ඩල වලින් ද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

රෝහල්වලට අවශ්‍ය ලේ දන්දීම්, පීඩාවට පත් වූ ප්‍රජාවන්ට අවශ්‍ය මූලික පහසුකම්, රෝගීන්ට අවශ්‍ය සහයෝගය මෙන්ම සහෝදර කිතුනු ජනයා හට මානසික අසල්වැසිල්ලක් ලබාදිය හැකි ආකාරයේ කටයුතු වලට ප්‍රමුඛත්වය දෙන මෙන් ඉල්ලා සිටිමු.

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ශක්තිමත්ව හා අන්‍යෝන්‍යය ගෞරවයෙන්, ආදරයෙන් රටක් හැටියට ඉදිරියට යාමට අප සියලු දෙනාටම ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුලේ උදවියටත් හා තුවාල වූ සියලුදෙනාට අල්ලාහ් දෙවියන් ශක්තිය හා ධෛර්යය ලබාදෙත්වා යැයි ප්‍රාර්ථනා කරමු.

ස්තුතියි

 

මුෆ්ති එම්. අයි . එම්. රිස්ව
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *