රමළාන් සමය සහ අධ්‍යාත්මිකත්වය

යොමු අංකය: ACJU/NGS/2022/056

2022 මාර්තු මස 19 වෙනිදා (15 ෂ`බාන් 1443)

අල්ලාහ්ගේ දයාව නිසා අපි ඉස්ලාමීය දින දර්ශනයට අනුව ෂඃබාන් මස මැද භාගයට අවතීර්ණ වී සිටිමු. මෙය ශුද්ධ වූ රමළාන් මාසය සඳහා සූදානම් වීමේ කාලය යි.

රමළාන් මාසය තුළ උපවාසශීලයේ යෙදීම ඉස්ලාම් දහමට අනුව ප්‍රධාන වගකීමකි. සර්වබලධාරී අල්ලාහ් විසින් අල්-කුර්ආනය පහළ කළේ මෙම මාසයේදී ය. මෙම මාසයේ සෑම පුද්ගලයෙකුම සර්වබලධාරී අල්ලාහ් සමග අධ්‍යාත්මික සමීප සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ආශීර්වාද කරන ලද අතර මෙය දූආ හෙවත් ප්‍රාර්ථනාවේ නියැලීමේ, ඉවසීම වර්ධනය කර ගැනීමේ සහ සදකා හෙවත් දානමාන පිරිනැමීමේ මාසය යි.

රමළාන් මාසයේ අනුගමනය කළ යුතු අධ්‍යාත්මික මාර්ගෝපදේශ:

  1. රමළාන් මාසයේ සියලු උපවාසශීලයන් භක්තිමත්ව ඉටුකිරීම. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ පැවසූ බව අබු හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණෝ වාර්තා කරයි: කවරෙකු රමළාන් මාසයේදී විශ්වාසයෙන් හා ආනිසංස බලාපොරොත්තුවෙන් උපවාසය රකින්නේද ඔහුගේ පෙර පාපයන් සියල්ල සමා කරනු ලබන්නේය. (මූලාශ්‍රය: සහීහ් බුහාරි)
  2. අනිවාර්යය හා වෛකල්පිත නැමදුම් (නෆ්ල්) කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. විශේෂයෙන්, සමාජ ජාල වෙබ් අඩවි සහ වෙනත් අනවශ්‍ය කරුණුවල කාලය නාස්ති කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම.
  3. තරාවීහ් සලාතය සහ රාත්‍රී කාලයේ යාඥාවන්හි වැඩි වශයෙන් නිරත වීම. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ පැවසූ බව අබු හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාණෝ වාර්තා කරයි: කවරෙකු රමළාන් මාසයේදී විශ්වාසයෙන් හා ආනිසංස බලාපොරොත්තුවෙන් රාත්‍රී නැමදුමෙහි යෙදෙන්නන්ගේ පෙර පාපයන් සියල්ල සමා කරනු ලබන්නේය. (මූලාශ්‍රය: සහීහ් බුහාරි)
  4. අල්-කුර්ආනය පහළ වූ මාසය වන රමළාන් මාසය තුළ අල්-කුර්ආනය සමඟ සමීප සබඳතාවක් ඇති කරගැනීම. අල්-කුර්ආනය පාරායනය කර එහි ඉගැන්වීම් අපගේ ජීවිතයට එක්කාසු කරගැනීම සහ ඒ අනුව ජීවත් වීමට අන් අයට මගපෙන්වීම අපගේ යුතුකමයි. සෑම පුද්ගලයෙකුම අල්-කුර්ආනය වැඩි වැඩියෙන් පාරායනය කළයුතු අතර දිනකට අවම වශයෙන් එක් ‘ජූසු’ ක් හෝ පාරායනය කිරීමට උත්සාහ කිරීම.
  5. තමාගේ ස්වයං පාරිශුද්ධත්වයක් ඇති කරගැනීම සඳහා මෙම රමළාන් මාසය අවස්ථාවක් කරගැනීම.
  6. රමළාන් මාසයේ අවසාන දින 10 තුළ ඉඃතිකාෆ් නැමැති මස්ජිදයෙහි රැදීම යන යහක්‍රියාවෙහි නියැලීම වැදගත් වූවකි. එහෙයින් මස්ජිද් පරිපාලකයින් විසින් ප්‍රදේශවාසීන්ට මෙම යහක්‍රියාව නිසි අයුරින් ඉටුකිරීමට කටයුතු සම්පාදනය කරදීම.
  7. දුආ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන මෙම ශුද්ධ වූ මාසය තුළ අප රට පත්ව ඇති දුෂ්කරතාවෙන් ජනතාව යථා තත්ත්වයට පත් වීමටත්, ඔවුන්ගේ නිරෝගී භාවයටත්, යහපැවැත්මටත්, සමෘද්ධියටත් හා අපේ අවශ්‍යතා සපුරාලීමටත් දුආ ප්‍රාර්ථනාවන්හි නියැලීම. ඒ සඳහා උපවාසශීලයෙන් මිදෙන වේලාව, සහර් වේලාව හා අසාන් සහ ඉකාමත් අතර වේලාව වැය කිරීම.

මෙම අධ්‍යාත්මික මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් මෙම ශුද්ධ වූ රමළාන් මාසය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමු.

සර්වබලධාරී අල්ලාහ්, මෙම ශුද්ධ වූ රමළාන් මාසය උදාකර ගනිමින් ඔහුගේ දයාව, සමාව සහ නිරයේ නිදහස ලැබූවන් අතරට අප පත් කරත්වා!

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂේක් එම්.එල්.එම්. ඉල්යාස්

ලේකම් – ෆත්වා කමිටුව

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

සටහන :

උපවාසශීලය, සකාත් සහ සකාත් අල්-ෆිත්ර් වැනි කරුණු සම්බන්ධයෙන් ආගමික පැහැදිලි කිරීම් අවශ්‍ය වූ විට (සතියේ දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා) අපගේ ෆත්වා අංශය අමතන්න. (0117-490420)

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *