දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ඒකාබද්ධ විශේෂ නිවේදනය

2021.06.04

 

  1. අධ්‍යාත්මික මාර්ගෝපදේශ:
  • සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රේමය, කරුණාව හා සමීපභාවය උදෙසා නැමදුම්වල හා යහපත් ක්‍රියාවන්හි වැඩි වශයෙන් නිරත වී අපගේ දුෂ්කරතා හා දුක් ගැනවිලි අල්ලාහ් කෙරෙහි බාර කරමින් ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම.
  • මෙම පීඩාවන් ඉවත් වීම සඳහා පෙරාතුවම උපදෙස් දී ඇති පරිදි පස්වේල නැමදුම තුළ “කුනූත් අන්-නාzසිලා” පාරායනය කළ යුතු අතර පාපී ක්‍රියාවලින් වැළකී, දුආ ප්‍රාර්ථනාවන්, zදික්ර්, අල්-කුර්ආන් පාරායනය, ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාව අයැදීම, උපවාසශීලය සහ සදකා හෙවත් දන්දීම වැනි යහපත් ක්‍රියාවන්හි නිරත වීම.
  • ස්ත්‍රී පුරුෂ, බාල මහළු සියල්ලෝම තම නිවෙස්වල හිදිමින් මෙම ව්‍යසනයෙන් ආරක්ෂා වීම සඳහා සර්වබලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමේ සිරිතක් ඇති කර ගැනීම, උදේ සවස දුආ ප්‍රාර්ථනාවන් සහ මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා දුආ ප්‍රාර්ථනාවන් පාරායනය කිරීම.
  • තම නිවැසියන් පමණක් එක්කාසු කරගනිමින් පස්වේල නැමදුම නියමිත වේලාවට සාමුහික වශයෙන් ඉටුකිරීම.

 

  1. වසංගත රෝග පිළිබඳ නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ උපදෙස් :
  • නිරෝධායනය නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ මග පෙන්වීමකි. – නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ. “ඔබ සිංහයෙකු දුටු විට පලා යන ආකාරයට කුෂ්ඨ රෝගියාගෙන් (වසංගත රෝගයෙන්) පලා යන්න.” (මූලාශ්‍රය : බුහාරි වෙළුම 07, පොත 71, අංක 5707)
  • ශාරීරික දුරස්ථභාවය පවත්වා ගනිමු – නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ. “බොවන රෝග වැළදී ඇති අය නිරෝගී අයගෙන් වෙන්වී සිටිය යුතුය.” (මූලාශ්‍රය : බුහාරි 5771, මුස්ලිම් 2221)
  • ගමන් බිමන්වල යෙදීමෙන් වැළකෙමු – නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ. “වසංගත රෝගය (බෝවන රෝගය) පැතිරී ඇති ප්‍රදේශයකට ඇතුළු නොවන්න, ඔබ ප්‍රදේශයේ එය පැතිරී ඇත්නම් එතැනින් ඔබ පිටව නොයන්න.” (මූලාශ්‍රය : බුහාරි 5729, 5730, 6973/ මුස්ලිම් 2219)
  • ඔබට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ඒ උවදුරින් ආරක්ෂා කරමු – නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ. “ඔබ අන් අයට උවදුරු නොකරන්න, ඔබද උවදුරට ලක් නොවන්න.” (මූලාශ්‍රය : සුනන් ඉබ්න් මාජා 2340)
  • නිවසේම රැඳී සිටිමු – නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ. “තමාටම හානි නොකළ යුතු අතර අන් අයට ද හානි නොකළ යුතුයි. යමෙක් (අන් අයට) හානි කරන්නේ ද, අල්ලාහ් ඔහුට හානි කරනු ඇත.” යමෙක් (අන් අයට) දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ඔහුට දුෂ්කරතා ඇති කරනු ඇත. (මූලාශ්‍රය : අල්-හාකීම් 2345/ අල්-බයිහාකි 11384)

එමනිසා, ඉහත සඳහන් නබිවදන් පිළිපදිමින්, මෙම රෝගය පැතිරීම වැළැක්වීමට අප උත්සාහ කළ යුතුය.

 

  1. සෞඛ්‍ය මාර්ගෝපදේශ:
  • සංචරණ සීමා පනවා ඇති අවස්ථාවන්හිදී නිවෙස්වලින් පිටවීමෙන් වැළැකී සිටීම හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවෙස්වලට බෙදා හැරීමේ ක්‍රමවේදය (Home Delivery Service) හරහා ලබා ගැනීම.
  • කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් සියලු දෙනාගේම ප්‍රයෝජනය සඳහා සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බව අවබෝධ කරගනිමින් වගකීමෙන් කටයුතු කිරීම.
  • සංචරණ සීමා පනවා නැති අවස්ථාවන්හිදී අවශ්‍යතාවන් සඳහා පිටව යන විට නිසි අයුරින් මුඛාවරණ පැළඳීම, මීටර 1ක හෝ අඩි 3ක පරතරයකින් ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනාකීර්ණ ස්ථාන වෙත යෑමෙන් වැළකී සිටීම සහ නිතර අත් සේදීම වැනි සනීපාරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කිරීම. නිවස කරා නැවත පැමිණීමෙන් පසු අත් සෝදා හෝ ස්නානය කර ඇඳුම් පැළදුම් මාරු කිරීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයන් සමග සම්බන්ධකම් පැවැත්වීම.
  • කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත්කරණය පිළිබඳ ආගමික මග පෙන්වීමක් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව මගින් පෙරාතුවම නිකුත් කර තිබේ. එබැවින් වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඔබ ප්‍රදේශයේ එන්නත්කරණය සිදුවන ස්ථාන වෙත ගොස් එය සිදුකර ගැනීම.
  • ඔබට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්නම්, වහාම ඔබේ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරියාට ඒ පිළිබඳව දන්වා සුදුසු උපදෙස් ලබා ගැනීම.
  • සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සියලු මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපදිමින් මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට දායක වීම.
  • සංචරණ සීමා හා නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙවන් අවස්ථාවන්හිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සංචරණ සීමාවන් නිසි අයුරින් අනුගමනය කිරීම ඉස්ලාම් දහමේ මඟ පෙන්වීමයි. මෙවන් මාර්ගෝපදේශ හා සීමාවන් නොසලකා හැර, කොවිඩ්-19 ආසාදනය වී ජීවිත බලපෑමක් ඇති වුවහොත් එය තමාටම විනාශය අත් කරගැනීමක් වන බව අවවාදයට ගනිමින් කටයුතු කළ යුතුයි. තවද යම් අයෙකුගේ නොසැලකිල්ල නිසා මෙම ආසාදනය වෙනත් පුද්ගලයෙකුට පැතිරී ඔහු මරණයට පත් වූයේ නම්, ඔහුගේ මරණයට තමා හේතුවක් විය හැකිය. මන්දයත්, ඉස්ලාමය තමාටම විනාශය අත්කරගැනීම තහනම් කර ඇති අතර තමාට හානිය අත්කර ගැනීම සහ අන් අයට හානිය අත්කිරීම දැඩි ලෙස හෙළා දකියි.

 

සටහන:

  • මස්ජිදයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, වක්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ නිසි අයුරින් අනුගමනය කිරීම.
  • සහනාධාර කටයුතු සිදුකරන පුද්ගලයින් සෞඛ්‍ය නීතිරීති පිළිපැදිය යුතු අතර අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයෙන් අනුමැතිය ලබා ගැනීම.

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *