මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද දකුණු කොළඹ ප්‍රාදේශීය මස්ජිද් පරිපාලකයින් සඳහා වූ එක්දින වැඩමුළුවට අප සභාපති අෂ්-ෂෙයික් මුෆ්ති M.I.M. රිස්වි තුමා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූහ

2024 දෙසැම්බර් මස 01 වෙනිදා, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් දෙහිවල, ගල්කිස්ස මස්ජිද් සම්මේලනයේ සහ දෙහිවල මුහ්යදීන් ජුමුආ මස්ජිද් පරිපාලනයේ සම්බන්ධීකරණයෙන් “දකුණු කොළඹ ප්‍රාදේශීය මස්ජිද් පරිපාලකයින් සඳහා වූ එක්දින වැඩමුළුවක්” පවත් වන ලදී. මෙම අවස්ථාවට අප සභාපති අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූ අතර විශේෂ දේශනයක්ද පැවැත්වූහ.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ගරු අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල මුහ්යදීන් ජුමුආ මස්ජිදයේදී සැසියක්ද පැවැත්විණි.

මෙම සැසියේදී මස්ජිද් පරිපාලකයින්ගේ වගකීම්, යුතුකම් සහ මස්ජිදයන් තුළින් සමාජ සත්කාර මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගරු අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් සහ ගරු සහකාර අධ්‍යක්ෂ අෂ්-ෂෙයික් එම්.එස්. අලා අහ්මඩ් මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කළ අතර ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය, වක්ෆ් විනිශ්චය සභාව සහ මුස්ලිම් ආගමික පුණ්‍යාභාරය සම්බන්ධයෙන් ද පැහැදිලි සිදු කරන ලදී.

තවද, විශේෂ ආරාධිතයා වූ අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා විසින් ‘මස්ජිද් පරිපාලකයින්ගේ මහිමයන් හා වගකීම්’ යන තේමාව යටතේ වැදගත් දේශනයක් පවත්වන ලදී.

එතුමා සිය දේශනයේදී පහත සඳහන් කරුණු ද අවධාරණය කළහ.

  • සෑම කෙනෙකුටම ගෞරව කිරීම.
  • කිසිවකුටත් කිසිඳු අයුරකින් නොරිදවීම.
  • සියලු දෙනාම අවබෝධයෙන් කටයුතු කිරීම.
  • ශරීරයේ සෑම ඉන්ද්‍රීයයක්ම එකිනෙක සම්බන්ධ වන්නා සේම පොදු කාර්යයන්හිදී අදාළ පාර්ශ්වයන් එකිනෙකාට සහයෝගය දැක්වීම.
  • සෑම පාර්ශ්වයක්ම තම වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු අතර අනෙකුත් පාර්ශ්වයන් සමඟ යහපත් සාර්ථක සංවාදයක් පවත්වා ගැනීම.
  • ජ්‍යෙෂ්ඨයන් සහ අත්දැකීම් ඇති අයවළුන් සිටියදී ඔවුන්ට ගෞරවය දැක්වීම.
  • මස්ජිද් පරිපාලකයින් විසින් අදාළ නීති රීතීන් පිළිබඳ ව හැදෑරිය යුතු අතර ඒවා ක්‍රමාණුකූලව ක්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම.

මෙම වැඩමුළුවට දකුණු කොළඹ ප්‍රාදේශීය මස්ජිදයන් 35ක පරිපාලකයින් 150 ක් පමණ සහභාගී වීම විශේෂත්වයකි.

 

 – ACJU මාධ්‍ය අංශය –

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *