06.03.2018 (17.06.1439)
පසුගිය 2018 මාර්තු 3 වන දින මහනුවර ආසන්නයේ දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වුනු කලහකාරී තත්ත්වය නිසා ජීවිත මෙන්ම මුස්ලිම්වරුන්ට අයත් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ ද විනාශ කරන ලද ආකාරය අප කවුරුත් දනිමු.
මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට මුස්ලිම් ආගමික ප්‍රධානීන් හැකි සෑම උත්සාහයක් ගනිමින් සිටිති. තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා මෙන්ම එය දිවයිනේ අන් තැන්වලටත් පැතිරීම වළක්වන්නට කටයුතු කරන මෙන් රජයෙන් ද අදාළ වගකිව යුතු බලධාරීන් හා දේශපාලන නායකයන්ගෙන් ද අප සංගමය ඉල්ලා සිටින අතර ඒ අනුව අදාළ විවිධ පාර්ශව මෙය සම්බන්ධ ප්‍රයත්න වල යෙදෙමින් සිටිති.
අප සංගමයේ සාමාජිකයින් පෙර දින ගරු අග්‍රාමාත්‍යවරයා හමු වී තත්ත්වය ගැන සාකච්ඡා කළ අතර ජම්ඉයියතුල් උලමා මහනුවර ශාඛාව හරහා එම ප්‍රදේශයේ හානියට ලක් වුවන් හමු වී අවශ්‍ය මග පෙන්වීම් හා සහාය ලබා දීමට ද කටයුතු කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රමූඛ පුද්ගලයන් සමග එක්ව අප සංවිධානයේ සාමාජිකයන් ප්‍රචණ්ඩත්වයන් ඇති වුනු පෙදෙස්වලට ගොස් තත්ත්වය සියැසින් දැක බලා ගෙන අවශ්‍ය උදව් උපකාර ලබා දීමට පියවර ගනිමින් සිටිති. තත්ත්වය යහපත් අතට හරවන මෙන් ප්‍රාර්ථනා කරන මෙන් මුස්ලිම් ප්‍රජාව ඇතුළු පොදු ජනයාගෙන් අප සංගමය ඉල්ලා සිටියි.
තත්ත්වය තවත් අයහපත් අතට පෙරළිය හැකි හෝ රටේ අන් තැන්වලත් නොසන්සුන්කාරී තත්ත්වයන් උද්ගත විය හැකි ආකාරයේ ක්‍රියාවන්වල නොයෙදීමට අප කවුරුත් වගබලා ගත යුතුය. අප කවදත් යොමු විය යුත්තේ අල්ලාහ් දෙසට හා ඔහුගේ උදව් දෙසටය. එමෙන්ම ඇති වී තිබෙන හානිය නිසි පරිදි ලේඛන ගත කොට නීතිමය පියවර ගැනීමට හානියට පත් වූවන් ක්‍රියා කළ යුතුය. ඒ හැර නීතිය අතට ගැනීමට මුස්ලිම්වරුන් උත්සාහ නොකළ යුතුය. තමතමන්ගේ පෙදෙස්වල මෙන්ම පුද්ගලික ආත්මාරක්ෂාව ගැන ද විමසිල්ලෙන් සිටිය යුතුය. මෙම කාරණාවෙහි ඒ ඒ ගම්, නගරවල ප්‍රජාව ද මුස්ලිම් ප්‍රජා නායකයන් හා ආගමික ප්‍රධානීන් ද අදාළ පෙදෙස්වල ජම්ඉයියතුල් උලමා ශාඛාවේ ආගමික වියතුන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කරන මෙන් අප සංගමය ඉල්ලා සිටියි.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය සමතයකට පත් කිරීමට විවිධ වෑයම්වල යෙදී සිටින ජන නායකයන් හා ආගමික ප්‍රධානීන් සම්බන්ධ විවේචනාත්මකව අදහස් දැක්වීමෙන් අප වැළකී සිටිම නැණවත් වනු ඇත. එමෙන්ම තත්ත්වය සංකීර්ණ කළ හැකි විවිධ කටකථා සහ තහවුරු නොවුනු දූෂමාන සෘණාත්මක ආරංචි පැතිරවීමෙන් වැළකී සිටින මෙන් ද අප සංගමය ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. සැමගේම හදවත්වල අප ගැන යහපත් ආකල්පයක් ඇති කරන ලෙසින් අප ක්‍රියා කළ යුතු අතර ඒ සඳහා දෙවියන්ගෙන් නිතර ඇයැද සිටීමද වැදගත්ය. මන්දයත් මිනිසුන්ගේ හදවත් ඇත්තේ දෙවියන් සතුය. එනිසා අතීතයේ අප මෙරටෙහි වාසය කළා සේ සුහදශීලීව හා අන්‍යෝන්‍ය ගරුත්වයෙන් වාසය කළ හැකි වාතාවරණයක් රටේ නැවතත් උදාකර දෙන මෙන් අල්ලාහ්ගෙන් ඇයැද සිටින මෙන් අප සංගමය ඉල්ලා සිටියි.
අෂ් ෂෙයික් එම්. එම්. අහ්මද් මුබාරක්
මහලේකම්,
සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංගමය.