අතිගෞරව බද්දේගම සමිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ශෝක පණිවිඩය

ACJU/NGS/2021/088
2021, මැයි 30 වෙනිදා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් මන්ත්‍රී අතිගෞරව, බද්දේගම සමිත ස්වාමින් වහන්සේ අපවත් වී වදාළ පුවත අප සැම සාතිශය කම්පාවට හා ශෝකයට පත් කොට ඇත.

තරුණ වියේ පටන් අවසන් ගමන තෙක් සමාජ සාධාරණත්වය හා යුක්තිය උදෙසා ඇපකැප වී කටයුතු කරමින් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් දිනාගත්, විශේෂයෙන් දකුණු පළාතේ ආගමික භේදයකින් තොරව තම සේවාවන්හි නියැළුනු එහිමියන්ගේ අපවත් වීම මුළු රටටම මහත් පාඩුවකි.

කිසිඳු වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සහජීවනය ස්ථාපිත කිරීමට සියලු ශ්‍රී ලාංකිකයින්ගේ යහපත වෙනුවෙන් හා යහපත් ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම වෙනුවෙන් එහිමියන් ගෙන ගිය ප්‍රයත්නයේ අරමුණ වූයේ වාර්ගික හා ආගමික සමගිය තුළින් සාමයසහෝදරත්වය හා සුහදත්වය සපිරි සෞභාග්‍යමත් මාතෘ භූමියක් නිර්මාණය කිරීමයි.

එහිමියන් වෙනුවෙන් කළ හැකි උත්තරීතර ගෞරවය හා උපහාරය වන්නේ උන්වහන්සේ දැඩි කැපවීමකින් සමාජගත කරන්නට වෙරදැරූ මෙම උත්තරීතර අරමුණු සාක්ෂාත් කරගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින් අධිෂ්ඨාන පූර්වකව කටයුතු කිරීම යන්න අපගේ නිහතමානී මතයයි.

ශ්‍රී ලංකාවාසී සියලු සහෝදර බෞද්ධ ජනයා වෙත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගේ හා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ බලවත් ශෝකය මෙමගින් දන්වා සිටිමු.

 

අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *