2025.08.17
1447.02.22
මහා කාරුණික, දයානුකම්පිත අල්ලාහ්ගේ නාමයෙන්..!
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ (ACJU) වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වූ සාමාජිකයින් වන අපි, අල්-කුර්ආනය සහ අල්-හදීස් මගින් මඟපෙන්වනු ලැබූ සහ යහමඟ ලද කලීෆාවරුන් සහ පුරෝගාමී ආගමික විද්වතුන් විසින් ආරක්ෂා කරනු ලැබූ ‘සත්‍යය, යුක්තිය සහ මානව ගරුත්වය’ යන මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා අපගේ ස්ථිර කැපවීම නැවත තහවුරු කරමු.
පලස්තීන දේශයේ ගාසා තීරය, බටහිර ඉවුර සහ අල්-කුද්ස් නම් ශුද්ධ වූ නගරයේ වෙසෙන පීඩිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි නැගී සිටිමු.
සියොන්වාදී පාලනය විසින් සිදු කරන ලද ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර, ඉලක්කගත ඝාතන, වැටලීම් නිසා ඇති වූ සාගින්න සහ බලහත්කාරයෙන් අවතැන් කිරීම ඇතුළු අමානුෂීය කුරිරුකම්, ඉස්ලාමීය මූලධර්ම සහ ජාත්‍යන්තර මානව හිමිකම් පැහැදිලිව උල්ලංඝනය කිරීමකි.
ජීවිතය ගෞරවනීය යැයි ඉස්ලාමය උගන්වයි:
“කවරෙකු (සම ප්‍රතිදඬුවමක් වශයෙන්) ආත්මය(ක් ඝාතනය කිරීම)කට මිස හෝ මිහිතලයෙහි (ඇති වන) කලහකාරකම(ක් වැළැක්වීම)කට මිස (අයුක්ති සහගතව තවත්) ආත්මාවක් ඝාතනය කරන්නේ ද ඔහු මිනිසුන් සියල්ල ඝාතනය කළ කෙනෙකු මෙන් වන්නේය.’ තවද ‘කවරෙකු එය(ආත්මාව ඝාතනය නොකර) ජීවත් කරවන්නේ ද ඔහු මිනිසුන් සියල්ල (ආරක්ෂා කර) ජීවත් කරවන්නෙකු මෙන් වන්නේය.” (අල්-කුර්ආනය 5:32)
පලස්තීන දේශය හා අල්-අක්සා මස්ජිදය, මහා කාරුණික අල්ලාහ් විසින් විශුද්ධත්වයට පත් කරනු ලැබීය:
“මස්ජිදුල් හරාම්හි සිට මස්ජිදුල් අක්සා දක්වා රාත්‍රි මද කොටසක දී තම ගැත්තා ව කැටුව ගිය ඔහු(අල්ලාහ්) සුවිශුද්ධ ය. (එය කෙබඳු මස්ජිදයක් ද යත්) එහි අවට අප අභිවෘද්ධිමත් කළෙමු.” (අල්-කුර්ආනය 17:1)
“විශ්වාසිකයින් සියල්ලෝම තනි ශරීරයක් වැනිය,” යැයි නබි මුහම්මද් (ﷺ) තුමාණෝ පැවසූහ.
“විශ්වාසිකයින් සියල්ලෝම තනි ශරීරයක් වැනිය. එහි එක් කොටසක් බලපෑමට ලක් වුවහොත්, මුළු ශරීරයම උණ සහ නින්ද නොයෑමෙන් ප්‍රතිචාර දක්වයි.” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි, සහීහ් මුස්ලිම්)
එබැවින්, පලස්තීන ජනතාව සහ එම දේශය ආරක්ෂා කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේ ම ආගමික යුතුකමකි. එනම්, එහි සිදුවන අපරාධයට විරුද්ධ වීම සහ යුක්තිය ස්ථාපිත කිරීම වෙයි.
මෙනෙහි කරමු:
• වර්ෂ 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය – සෑම කෙනෙකුට ම ජීවත්වීමට, නිදහසට සහ පුද්ගලයාගේ ආරක්ෂාවට ඇති අයිතිය සහතික කරයි.
• වර්ෂ 1949 සිව්වන ජිනීවා සම්මුතිය – සිවිල් වැසියන් ඉලක්ක ප්‍රහාර එල්ල කිරීම, සාමූහික දඬුවම් සහ සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම තහනම් කරයි.
• එක්සත් ජාතීන්ගේ යෝජනා කිහිපයක් – පලස්තීන ජනතාවට ස්වයං නිර්ණය කිරීමේ නිදහස, ස්වෛරීභාවය සහ නැවත පැමිණීමේ අයිතිය තහවුරු කරයි.
• සියොන්වාදී තන්ත්‍රයේ අඛණ්ඩ වැටලීම්, සමූල ඝාතන සිදු කිරීම සහ ආක්‍රමණ ආදිය ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වේ.
අපගේ ඉල්ලීම සහ අභියාචනාව:
පළමුව, ලොව පුරා සිටින මුස්ලිම් නායකයින් සහ රජයන් වෙත:
• සියොන්වාදී තන්ත්‍රයට එරෙහිව එක්සත් වී තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටීම. (සම්බාධක පැනවීම, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ සම්බන්ධීකරණ මානුෂීය ආධාර පිරිනැමීම ආදී වශයෙන්)
• ආරක්ෂක වගකීම් ඉටු කර ජාත්‍යන්තර සංසදවලදී පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම.
දෙවනුව, ජාත්‍යන්තර ප්‍රජාවට සහ ලෝක නායකයින් වෙත:
• සියොන්වාදී තන්ත්‍රයට වහාම සම්බාධක පැනවීම සහ එහි නායකයින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම.
• ක්ෂණික සහ ස්ථිර සටන් විරාමයක්, පූර්ණ මානුෂීය ප්‍රවේශයක් සහ ගාසා තීරයේ සම්බාධක ඉවත් කිරීමට කටයුතු කිරීම.
• අල්-අක්සා මස්ජිදය සහ පලස්තීනයේ සියලුම ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සහ සියලු ආගමිකයින්ට තම ආගම ඇදහීමේ නිදහස සහතික කිරීම.
තෙවනුව, ගෝලීය සිවිල් සමාජය වෙත:
• පලස්තීනය ආක්‍රමණයට සහාය දක්වන සියලුම ආයතනවලට සාමකාමීව විරෝධතා පෑම. ඔවුන්ට එරෙහිව වර්ජනය කිරීමේ සහ ඉවත් කිරීමේ ව්‍යාපාරයක් (BDS) පැවැත්වීම.
• වැරදි තොරතුරු සමාජගත කිරීම, ඉස්ලාම් භීතිකාව හා පලස්තීන විරෝධී වර්ගවාදයට එරෙහිව සටන් කිරීම ඇතුළුව පලස්තීන අරගලයේ යථාර්ථය පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම.
සිව්වනුව, ශ්‍රී ලංකා රජය වෙත:
ශ්‍රී ලාංකිකයන් ලෙස, අපගේ රජය ඓතිහාසික ව පලස්තීනයට සහාය දී ඇති බව අපි පිළිගනිමු. කෙසේ වෙතත්, මෑත කාලයේ දී, අනුප්‍රාප්තික රජයන් විසින් පලස්තීනය ආක්‍රමණය කරන සියොන්වාදී රජයන් සමඟ සබඳතා පවත්වා කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා රජයෙන් අපගේ ඉල්ලීම:
• ජාත්‍යන්තර නීතියට අනුකූල ව සියොන්වාදී සංවිධාන සිය වැටලීම් අවසන් කරන තෙක් ඔවුන් සමඟ ඇති සියලුම රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලනික, වාණිජ හා සංස්කෘතික සබඳතා වහාම අත්හිටුවිය යුතුයි.
• ගාසා තීරයේ සහ පලස්තීනයේ අනෙකුත් ප්‍රදේශවල යුද අපරාධ, ජන සංහාර හෝ සිවිල් වැසියන් ඝාතනය කිරීමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කළ යුතුයි.
• එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ගෝලීය සංවිධාන තුළ පලස්තීන ස්වයං නිර්ණ අයිතිය සඳහා අඛණ්ඩව බලපෑම් කරන ලෙසත්; සියොන්වාදී පාලකයින් සිදු කළ අසාධාරණකම් සඳහා වගකිව යුතු බවට ඡන්දය ප්‍රකාශ කරන විට සියොන්වාදයට එරෙහිව කතා කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
අපගේ ප්‍රතිඥාව:
ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ආගමික විද්වතුන් වන අපි පහත සඳහන් ප්‍රතිඥා දෙමු:
• පීඩිතයන් සමඟ සිටීම අපගේ ඉස්ලාමීය යුතුකම බව අපි අපගේ ප්‍රජාවට උගන් වමු.
• පලස්තීනය වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කරමු, ඔවුන් වෙනුවෙන් හඩ නැගීම සහ මානුෂීය ආධාර අඛණ්ඩව සපයන්නෙමු.
• යුක්තිය ඉටු වන තුරු අපි ස්ථිරව සිට අනතුරු ඇගවීම්වලට බිය නොවී සත්‍යය කතා කරන්නෙමු.
නිගමනය:
• පලස්තීන දේශයේ බලාපොරොත්තුව ආගමික ඇදහිල්ල, යුක්තිය සහ මනුෂ්‍යත්වය ස්ථාපිත කිරීම බව අපි තහවුරු කරමු.
• ජන සංහාරය නැවැත්වීමට කටයුතු නොකොට නිහඬව සිටි අය පිළිබඳ ව ඉතිහාසයෙන් ආදර්ශ ගත යුතු බව අපි ලෝකයාට මෙනෙහි කරමු.
මහා කාරුණික අල්ලාහ්, පීඩිතයන්ට ජයග්‍රහණය ලබා දෙත්වා! මුළු ප්‍රජාවම එක්සත් කරත්වා! අල්-අක්සා මස්ජිදයේ පාරිශුද්ධභාවය ආරක්ෂා කරත්වා!
(මෙම ප්‍රකාශය 2025.08.17 දින පැවති, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ වාර්ෂික මහා සභා රැස්වීමේදී, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාඛාවල විද්වත් නිලධාරීන් 500 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේ කියවන ලද අතර එය සභාව විසින් ඒකමතිකව සම්මත කරන ලදී.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව




