ලැබුවා වූ 1447 (හිජ්රී) – ඉස්ලාමීය අලුත් අවුරුද්ද නිමිත්තෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ පණිවිඩය

ACJU/NGS/2025/110
2025.06.27 (1447.01.01)

ඉස්ලාමීය හිජ්රි දින දර්ශනය යනු නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සංක්‍රමණය මත පදනම් ව කලීෆා උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද චන්ද්‍ර දින දර්ශන ක්‍රමයකි.

ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් අවුරුද්දකට මාස දොළහක් වන අතර, ඉන් මාස හතරක් ශුද්ධ වූ මාසයන් බව අල්-කුර්ආනයේ සඳහන් වෙයි.

“අහස් හා මිහිතලය මැවූ දින (පටන්) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින් ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හතරකි.” (අල්-කුර්ආනය 09:36)

ඉස්ලාමයේ ශුද්ධ වූ මාස ලෙස ‘රජබ්, දුල්-කඃදා, දුල්-හිජ්ජා’ සහ දැන් උදාවී තිබෙන ‘මුහර්රම්’ මාසය වේ.

රමළාන් මස අවසාන දින දහය සහ දුල්-හිජ්ජා මාසයේ පළමු දින දහය, ඇතුළු ඉස්ලාමීය නව වසරේ පළමු දින දහය හෙවත් මුහර්රම් මස පළමු දින දහය උසස් ම දින කිහිපය ලෙස හැදින්වෙයි.

අල්ලාහ්ගේ දූතයාණෝ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:

“රමළාන් මාසයේ උපවාසශීලයට පසු උසස් ම උපවාසශීලය වන්නේ, අල්ලාහ්ගේ මාසය වන මුහර්රම් මාසයේ නියැලෙන උපවාසශීලයයි. අනිවාර්ය නැමදුම්වලට පසු උසස් ම නැමදුම වන්නේ රාත්‍රී නැමදුමයි (තහජ්ජුද් නැමදුමයි).” (මූලාශ්‍රය: මුස්ලිම් 2157)

ඉමාම් නවවි (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමාණෝ පැවසූහ:
“ශුද්ධ වූ මාස හතරේ උපවාසශීලයේ නියැලීම ප්‍රියජනක (මුස්තහබ්) ක්‍රියාවකි, ඉන් මුහර්රම් මාසයේ ඉටු කරන උපවාසශීලය ඉතා උසස්ය.”

එමෙන්ම, නව වසරක ආරම්භය, අපගේ ජීවිතයේ යහපත් හැරවුම් ලක්ෂයක් විය යුතු අතර ගෙවී ගිය වසරේ අපගේ ඊමානය හා ආගමික කැපවීම පිළිබඳ ව ස්වයං පිරික්සුමට ලක් කිරීමට අවස්ථාවක් කර ගත යුතුය. ඉදිරි දිනවලදී අපගේ ජීවිතයට එක්කාසු කළ යුතු යහපුරුදු පිළිබඳ ව තීරණයකට එළැඹිය යුතුය. අවම වශයෙන් පහත සඳහන් වැදගත් කරුණු 05 හි නියැලීමට අධිෂ්ඨාන කළ යුතුයි.

1. අපගේ දෛනික නැමදුම් විධිමත් කිරීම.
2. අපගේ ගනුදෙනු පිරිසිදු ව නිසි අයුරින් සකස් කර ගැනීම.
3. අපගේ පවුල් ජීවිතය සංවිධානය කර ගැනීම.
4. මනුෂ්‍යත්වයෙන් හා සෙනෙහසින් පිරුනු සදාචාරාත්මක පැවතුම් ඇති කර ගැනීම.
5. යහපත් මුස්ලිම්වරයෙකු සහ යහපත් පුරවැසියෙකු ලෙස ජීවත් වීම.

මහා කාරුණික අල්ලාහ්, මෙම මුහර්රම් මාසය පටන් නිරන්තරයෙන් අපට යහපත් ක්‍රියාවන් කිරීමට අවස්ථාව සළසා දුන මැනව! අපගේ ජීවිතයේ, අපේ රටේ සහ ගෝලීය වශයෙන් සාමය හා සමගිය සපිරි සෞභාග්‍යමත් ලෝකයක් ස්ථාපිත කරනු මැනව!

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *