2025 අගෝස්තු මස 12 වෙනිදා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නාමල් රාජපක්ෂ, ගරු ටී.වී. චානක සහ පක්ෂ සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා මූලස්ථානයට පැමිණ විධායක කමිටු සාමාජිකයින් සමඟ රැස්වීමක නිරත විය. අදාළ පාර්ශ්වයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම රැස්වීම සංවිධානය කරනු ලැබිණි.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව වෙනුවෙන්, අප ගරු සභාපති, ගරු මහලේකම්, ගරු භාණ්ඩාගාරික, ඇතුළු උප සභාපතිවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් මෙම රැස්වීමට සහභාගී වූහ.
පැමිණි පිරිස පිළිගනිමින්, මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා අප සභාවේ විධායක කමිටු සාමාජිකයින් හඳුන්වා දුන් අතර දීප ව්‍යාප්තව සිදුවන අප සභාවේ ක්‍රියාකාරකම් හා සේවාවන් පිළිබඳ ව පැහැදිලි කළේය.
එතුමා සිය කතාවේදී, අතීතයේ මුස්ලිම් ප්‍රජාව මුහුණ දුන් අභියෝග, කොවිඩ් මරණ හමුවේ මුස්ලිම්වරුන් මුහුණ දුන් අපහසුතා සහ ඉස්ලාම් භීතිකාව පිළිබඳ ප්‍රවණතාවයට අදාළ විවිධ කරුණු ද, පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් වීදියක් පලස්තීන භූමියේ දක්නට ලැබෙන බවත්, පලස්තීන ජනතාවට සිදුවන අසාධාරණයන්ට එරෙහි ව ඔබේ හඬ නිරන්තරයෙන් අවදි කරන ලෙසත් එතුමා ඉල්ලා සිටියේය.
ඉන්පසු, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම දේශපාලන ප්‍රතිපත්ති, පක්ෂ ස්ථාවරයන් සහ අනාගත සැලසුම් පැහැදිලි කළ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මුස්ලිම්වරුන් අතර සමගිය සහ ඔහු කළ සේවාවන් පැහැදිලි කළේය.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සිදු කරනු ලබන සහජීවන ව්‍යාපෘතිය සහ සහජීවන මධ්‍යස්ථාන පිළිබඳව ද ඔහු ප්‍රශංසා කළ අතර වාර්ගික, ආගමික සහ භාෂාමය වෙනස්කම්වලින් තොර පරිසරයක් නිර්මාණය කළ යුතු බව අවධාරණය කළේය.
ඉන්පසුව, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ගරු සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා රැස්ව සිටි පිරිස අමතමින්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව යනු දේශපාලනික නොවන සංවිධානයක් බවත්, අපගේ සභාව සමගිය, එකමුතුකම සහ සහජීවනය අවධාරණය කරමින් අනෙකුත් ආගමික ස්ථානවලට ක්ෂේත්‍ර චාරිකා රාශියක් සිදු කර ඇති බවත් ඔහු සිය කතාවේදී පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ධූර කාලය තුළ රටට කළ සේවාවන් සහ ශ්‍රී ලංකාවේ පැවති කුරිරු යුද්ධය අවසන් කළ බව ද එතුමා සිහිපත් කළේය.
කෙසේ වෙතත්, පසුකාලීනව, මෙරට පාලකයින් විසින් මුස්ලිම්වරුන්ට විවිධ අසාධාරණකම් කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල මාර්ගෝපදේශ නොසලකා හැරීම, ආදාහනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අප සභාව රජය සමඟ රැස්වීම් කිහිපයක් පැවැත්වුවද මුස්ලිම්වරුන්ගේ හදවත් රිදවන ආකාරයෙන් කොවිඩ් මරණ පුළුස්සා දැමීම, හලාල් සහතිකය තහනම් කිරීම, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම, මුස්ලිම්වරුන්ට එරෙහිව සැලසුම් කළ කෝලාහල වැළැක්වීමට කටයුතු නොකිරීම සහ ඉස්ලාමයට අපහාස කළ අයට හෙළා දැකීමකින් තොරව ගෞරව කිරීම වැනි කරුණු පෙන්වා දුන්නේය. මේවා සඳහා ලෝකයේ මුස්ලිම්වරුන්ගෙන් සමාව අයැදීමට අදාළ පුද්ගලයින් ඉදිරිපත් විය යුතු බවත් පැහැදිලි කළේය.
තවද, ඔබ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස, ඉහත කරුණු තුළින් සුදුසු ආදර්ශ ලබා ගෙන, රටවැසියන්ගේ හදවත් සන්සුන් වන පරිදි ජාතිය සහ ආගම නොසලකා දේශපාලනය කළ යුතු බවත් එතුමා පෙන්වා දුන්නේය.
ඊට අමතර ව, ඉස්ලාමයේ උසස් මූලධර්මය වූ ඉස්ලාමයේ කිසිදු බල කිරීමක් නොමැති බවත්, අනෙකුත් ආගමික දෙවිවරුන් විවේචනය කිරීමට ඉඩ නොදිය යුතු බවත්, සෑම පුද්ගලයෙකුට ම තමන්ගේ ම ආගමක් ඇති බවත්, අල්-කුර්ආනය අනුසාරයෙන් සාක්ෂි සහිත ව පෙන්වා දුන් අතර, ඒ සඳහා අප සභාව විසින් ගනු ලබන උත්සාහයන් ද පැහැදිලි කළේය.
පසුව, අප සභාව මගින් ප්‍රකාශයට පත් කරන ලද ‘ශුද්ධ වූ අල්-කුර්ආන් අර්ථ සංග්‍රහය’, ‘විවෘත දෑසින් ඉස්ලාමය’, ‘සමාජ සංවාද’, ‘Don’t be Extreme’ සහ ‘මන්හජ්’ (ආගමික කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සඳහා සමස්ත ශ්‍රී ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ස්ථාවරයන් සහ මාර්ගෝපදේශ) යන පොත් පිළිබඳ ව හැඳින්වීමක් සිදු කළ අතර, ඒවා තමා කියවා අන් අයටද ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.
අවසානයේදී, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මගින් ප්‍රකාශයට පත් කරන ලද අල්-කුර්ආන් අර්ථ සංග්‍රහය – සිංහල ඇතුළු තවත් ප්‍රකාශන කිහිපයක් ද පිරිනමන ලදී.








– ACJU Media –




