රමළාන් මාසයේ දී අතපසුවූ උපවාසශීලය ඉටුකිරීම හෙවත් කලා කිරීම පිළිබඳ උපදෙස්

ACJU/NGS/2022/059

2022.03.24 (1443.08.20)

 

ආදරණීය සැමට!

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ

 

රමළාන් මාසය තුළ සෑම මුස්ලිම්වරයෙකුම උපවාසශීලයේ නියැලිය යුතු යැයි සර්වබලධාරී අල්ලාහ් නියෝග කර ඇතිමුත්, නොයෙක් හේතු මත උපවාසශීලයේ නියැලීමෙන් වැළකී සිටීමටද ඇතැමුන්ට අවසර ලබා දී තිබේ. එවැන්නන්ට රමළාන් මාසයෙන් පසුව එම උපවාසශීල ඉටුකරන ලෙසත් අතපසුවූ උපවාසශීල සඳහා හිලව් වන අයුරින්, දුප්පත් අයවලූන්ට ෆිදියා දන්දීමටත් ඉස්ලාමය නියෝග කර තිබේ.

එබැවින්, රමළාන් මාසයේ උපවාසශීල අතපසුවූ අය පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

  1. තාවකාලික රෝගාබාධ, ඔසප් වීම, දරු ප්‍රසූතිය, දුර ගමන්වල නිරත වීම ඇතුළු කරුණු හේතුවෙන් උපවාසශීලය අතපසුවූ අය එළැඹෙන රමළාන් මාසයට පෙර එසේ අතපසුවූ උපවාසශීල ඉටුකිරීම හෙවත් කලා කිරීම සිදුකළ යුතුය. නිසි හැකියාවක් සහිතව ඊළඟ රමළාන් මාසය වන විටත් එලෙස අතපසුවූ උපවාසශීල ඉටුනොකළෙහු නම්, ඔවුන් විසින් එම උපවාසශීල ඉටුකිරීමට අමතරව ඔවුන්ට අතපසුවූ සෑම උපවාසශීලයක් සඳහාම තමන් දෛනිකව ආහාරයට ගන්නා සහල් වර්ගයෙන් ග්‍රෑම් 600 බැගින් දුප්පතුන්ට ෆිදියා ලෙස දන්දිය යුතුය. කෙසේ වුවත්, එසේ අතපසුවූ උපවාසශීල වසර ගණනක් ගතවීත් ඉටුනොකර සිටියේ නම්, ඊට හිලව් වන ලෙස දුප්පතුන්ට දන්දෙන ෆිදියා ප්‍රමාණය වසරක් පාසා ගුණ වනුයේ වසරකට එක් ෆිදියාවක් බැගිනි.
  2. උපවාසශීලය ඉටුකිරීම නිසා තමන්ට අවදානමක් හෝ අපහසුතාවක් ඇති වේ යැයි බියෙන් උපවාසශීලය ඉටුනොකර සිටින ගැබිනි කාන්තාවන් හෝ කිරි දෙන මව්වරු ඒ සඳහා අතපසුවූ උපවාසශීලය එළැඹෙන රමළාන් මාසයට පෙර ඉටුකිරීම පමණක් ප්‍රමාණවත් වේ. නමුත් සිය දරුවාට අවදානමක් ඇති වේවි යන හේතුව මත පමණක් උපවාසශීලය ඉටුනොකර සිටින මව්වරු, එළැඹෙන රමළාන් මාසය වන විට එලෙස අතපසුවූ උපවාසශීල ඉටුකිරීමට අමතරව, අතපසුවූ සෑම උපවාසශීලයක් සඳහාම, තමන් දෛනිකව ආහාරයට ගන්නා සහල් වර්ගයෙන් ග්‍රෑම් 600 බැගින් දුප්පතුන්ට ෆිදියා ලෙස දන්දිය යුතුය. නිසි හැකියාවක් සහිතව ඊළඟ රමළාන් මාසය වන විටත් එලෙස අතපසුවූ උපවාසශීල ඉටුනොකළෙහු නම්, ඔවුන් විසින් එම උපවාසශීල ඉටුකිරීමට අමතරව ඔවුන්ට අතපසුවූ සෑම උපවාසශීලයක් සඳහාම තමන් දෛනිකව ආහාරයට ගන්නා සහල් වර්ගයෙන් ග්‍රෑම් 600 බැගින් දුප්පතුන්ට ෆිදියා ලෙස දන් දිය යුතුය. කෙසේ වුවත්, එසේ අතපසුවූ උපවාසශීල වසර ගණනක් ගතවීත් ඉටුනොකර සිටියේ නම්, ඊට හිලව් වන ලෙස දුප්පතුන්ට දන්දෙන ෆිදියා ප්‍රමාණය වසරක් පාසා ගුණ වනුයේ වසරකට එක් ෆිදියාවක් බැගිනි.
  3. උපවාසශීලය ඉටුකිරීමට නොහැකි වන අයුරින් නිදන්ගත රෝගාබාධ, මහලු විය වැනි හේතූන් මත උපවාසශීලය අතපසුවූ අය, එසේ සෑම උපවාසශීලයක් සඳහාම තමන් දෛනිකව ආහාරයට ගන්නා සහල් වර්ගයෙන් ග්‍රෑම් 600 බැගින් දුප්පතුන්ට ෆිදියා ලෙස දන්දිය යුතුය. (මෙවැනි අවස්ථාවන්හි දී වසර ගණනක් ගතවීත්, දානයක් ලෙස ලබාදිය යුතු ෆිදියා ප්‍රමාණය වසරක් පාසා ගුණ නොවනු ඇත.)

සර්වබලධාරී අල්ලාහ්, අප සැමට අඛණ්ඩව නැමදුම් කටයුතුවල නිරත වීමට නිදුක් නිරෝගීභාවය ලබා දෙත්වා.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්

ලේකම් – ෆත්වා කමිටුව

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *