වෙනස් කොට සැලකීම පිටුදැකීමේ දිනය (මාර්තු මස 01) – 2022

ACJU/NGS/2022/049

2022.03.01

 

වෙනස් කොට සැලකීම පිටුදැකීමේ දිනය (Zero Discrimination Day) මාර්තු 1 වන දින මෙනෙහි කරනු ලබන අතර, සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදකිමින් යුක්තිය මත පදනම් වූ සාමයේ සහ සමාජ සාධාරණත්වයේ දේශයක් බවට මෙලොව පත්වේවා’යි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සර්වබලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරයි. ආරම්භ අවදියෙහි මෙම දිනය, වසංගත රෝගවලට ගොදුරු වූවන්ට එරෙහිව සිදුවන වෙනස් කොට සැලකීම් මුලිනුපුටා දැමීම සඳහා පිහිටුවන ලද නමුත්, වර්තමානයේ එය ජාතිය ආගම භාෂාව සහ වර්ණය යන අනන්‍යතාවන්ට වෙනස් කොට සැලකීමට එරෙහිව ද ක්‍රියාත්මක වේ. මෙය සමාජ සාධාරණය සඳහා වූ ක්‍රියාකාරීන් විසින් “ලෝක සමාජ සාධාරණ දිනය” නමින් මෙනෙහි කරනු ලැබීම විශේෂත්වයකි. මෙය වර්ෂ 2014 පටන් ලොව පුරා පවත්වනු ලැබේ.

ජාතිය ආගම භාෂාව වර්ණය සහ ජාතිකත්වය වැනි අනන්‍යතාවන් පදනම් කරගනිමින් සිදුවන සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් ඉස්ලාමය දැඩි ලෙස හෙළා දකී. මෙම මිනිසුන්ට පමණක් ආවේණික නොවූ සෙසු මැවුම් අතර ද පවතින බහුත්වය, සර්වබලධාරී අල්ලාහ්ගේ සංඥාවක් ලෙස අල්-කුර්ආනය සඳහන් කරයි.

“අහස් හා මිහිතලය මැවීම ද නුඹලාගේ දිවවල් (භාෂාවන්) හා නුඹලාගේ වර්ණ වෙනස් වීම ද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින්ම මෙහි දැනුම ඇත්තන්ට සංඥාවන් ඇත.” (අල්-කුර්ආනය, 30:22)

“ජනයිනි, සැබැවින්ම අපි නුඹලාව පිරිමියෙකු හා ස්ත්‍රියකගෙන් මැවුවෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ජාතීන් හා ගෝත‍්‍ර බවට පත් කළෙමු. සැබැවින්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් ඉතා ශ්‍රේෂ්ඨයා නුඹලාගෙන් ඉතා බිය භක්තිකයා ය. සැබැවින්ම අල්ලාහ් සර්වඥය අභිඥානවන්තය.” (අල්-කුර්ආනය, 49:13)

සෑම කෙනෙකු සමගම යුක්තිය සාධාරණත්වය සහ කරුණාවෙන් කටයුතු කරන ලෙස ඉස්ලාමය අවධාරණය කරයි.

“සැබැවින්ම අල්ලාහ් යුක්තිය ද යහකම ද ඥාතීන්ට (ඔවුන්ගේ උරුමයන්) පිරිනැමීම ද අණ කරන්නේය.” (අල්-කුර්ආනය, 16:90)

“වෙනස් කොට සැලකීම පිටුදැකීමේ දිනය” ශ්‍රී ලංකාවේ ද මෙනෙහි කරනු ලැබේ. මෙලෙස පසුගිය 2021 වසරෙහි ‘වයස, ස්ත්‍රී පුරුෂ භාවය, පෙනුම සහ විශ්වාසයන් මත පදනම්ව වෙනස් කොට සැලකීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කළ යුතුය’ යන තේමාවෙන් මෙනෙහි කරන ලදී.

මිනිසුන් අතර ගොඩනැගී ඇති බාධක බිඳ දැමීමට පියවර ගත් ඉස්ලාම් දහමේ ප්‍රධාන අරමුණු පිළිබඳව මෙදින ස්මරණය කරමින්, ඉස්ලාමය තුළින් මගපෙන්වන ත්‍යාගශීලිත්වය, රිස්සීම සහ වෙනස් කොට සැලකීම්වලින් තොර යුක්තිය ස්ථාපිත වූ සාධාරණ සමාජයක් උදාකරත්වා’යි සර්වබලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති තුමා සහභාගී වී ‘විවිධත්වයේ එකමුතුකම’ මැයෙන් දේශනයක් ද පැවැත්වීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *