සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ අභාවය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ශෝක පණිවිඩය

ACJU/NGS/2024/318
2024 අප්‍රේල් මස 16 වෙනිදා

මෙරට තාරූණ්‍ය ප්‍රජාවේ හා බහු සංස්කෘතික සමාජයේ අවබෝධය වැඩි දියුණු කරමින් මෙරට වැසියන්ගේ හොඳ ගුරුවරයෙකු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය අහංගමගේ ටියුඩර් ආරියරත්න මහතාගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය අප සැම සාතිශය කම්පාවට හා ශෝකයට පත් කොට ඇත.

කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ගුරුවරයෙකු වූ ඔහු වර්ෂ 1958 දී ප්‍රථම ශ්‍රමදාන වැඩ කඳවුර පැවැත්වූ අතර ඉන් අවසානයේ රටේ විශාල රාජ්‍ය නොවන සංවිධානයක් වූ සර්වෝදය ව්‍යාපාරය පිහිටුවීමට එතුමා සමත් වී ඇත.

සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අභියෝගය බාරගෙන මෙවන් කර්තව්‍යයක් ඉටු කළ එතුමන්ගේ ප්‍රධාන අරමුණ වූයේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සාමයෙන් ජීවත් විය හැකි සහෝදරත්වය හා සුහදත්වය සපිරි සෞභාග්‍යමත් මාතෘ භූමියක් හා ලොවක් නිර්මාණය කිරීම බව වැටහී යයි.

මෙවන් විද්වතෙකුගේ සමුගැනීමෙන් අත් වූ අලාභය ලෝ වාසී සියලු දෙනාට ම මෙනෙහි කරමින් එතුමන්ගේ පවුලේ උදවිය වෙත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගේ හා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ බලවත් ශෝකය මෙමගින් දන්වා සිටිමු.

එතුමන් වෙනුවෙන් කළ හැකි උත්තරීතර ගෞරවය හා උපහාරය වන්නේ ඔහු දැඩි කැපවීමකින් සමාජගත කරන්නට වෙරදැරූ කර්තව්‍යයන් සාක්ෂාත් කර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින් වශයෙන් අධිෂ්ඨාන පූර්වක ව කටයුතු කිරීම හා සැබෑ අධ්‍යාත්මිකත්වයෙන් හෙබි වූ සැදැහැවත් සුපිළිපන් ප්‍රජාවක් බිහි කිරීම යන්න අපගේ නිහතමානී මතයයි.

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති තුමා සහභාගී වී ‘විවිධත්වයේ එකමුතුකම’ මැයෙන් දේශනයක් ද පැවැත්වීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *