සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ හජ් උත්සව දින සුබපැතුම් පණිවිඩය – 2025

ACJU/NGS/2025/098
2025.06.07 (1446.12.10)

ඉස්ලාම් දහමේ ප්‍රධාන ආගමික උත්සව දෙකෙන් එකක් වන ඊදුල්-අල්හා හෙවත් හජ් උත්සවය, ලොව පුරා සිටින බිලියන 2 කට අධික මුස්ලිම් ප්‍රජාවක් සමරමින් සිටින අතර, ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් වශයෙන් අපි ද මෙවර හජ් උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් සමරන්නෙමු. අල්-හම්දුලිල්ලාහ්!

මෙවර ඊදුල්-අල්හා උත්සවය සමරන සියලුම මුස්ලිම්වරුන්හට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය සුබ පැතුම් පිරිනමන්නෙමු.

මෙම උත්සව දිනයේදී, ලෝකයේ බොහෝ රටවලින් මිලියන 1.6 කට අධික මුස්ලිම්වරු ඉස්ලාමයේ ප්‍රධාන බැඳීම් පහෙන් එකක් වන හජ් වන්දනාව ඉටුකිරීම සඳහා ‘අරෆා’ පිටියෙහි වන්දනාව ඉටුකිරීමෙන් අනතුරුව ‘මිනා’ සහ ‘මක්කම’ ප්‍රදේශයෙහි රැස්ව සිටිති. මොවුන් අතර, අප රට නියෝජනය කරමින් ලාංකේය බැතිමතුන් 3,500 ක් ද සිටිති.

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සිය ජීවිතයේ එක් වතාවක් පමණක් හජ් වන්දනාව ඉටුකර ඇති අතර, එකී වන්දනාවේදී ‘අරෆා’ දින රැස්ව සිටි ලක්ෂයකට අධික අනුගාමිකයින් පිරිසට විශේෂ දේශනයක් පැවැත්විය. ‘හජ්ජදුල්-වදා’ යැයි හැඳින්වෙන එම දේශනාව මානව හිමිකම්, සමානාත්මතාව, සහෝදරත්වය සහ යුක්තිය පිළිබඳව ඉස්මතු කරනා පැහැදිළි ප්‍රකාශනයක් බව අවධාරණය කරයි.

ඒ හා සමානව, නබි ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තුමාණන් මහා කාරුණික අල්ලාහ්ගේ විධානයට අවනත වී තම ජීවිතය කැප කළ සිද්ධියද මෙම හජ් උත්සව දිනයේදී ආදර්ශයට ගත යුත්තකි.

තවද, නබි ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තුමාණන් ලද පිරික්සීම් හමුවේ එතුමාගේ ඉවසීම, කැප කිරීම සහ මහා කාරුණික අල්ලාහ් ඒ සඳහා එතුමන්ට ලබා දුන් වරප්‍රසාද පිළිබඳ ව ශුද්ධ වූ අල්-කුර්ආනයේ වාක්‍යයන් 25ක හා ස්ථාන 63 ක පමණ සඳහන් කරමින් අපට මතක් කර දෙයි.

මෙම හජ් උත්සව සමය මගින් උගත යුතු පාඩමක් ලෙස මහා කාරුණික අල්ලාහ්ගේ අණපනත්වලට සම්පූර්ණයෙන්ම යටත් වීම, අල්ලාහ් කෙරෙහි ආදරය, කැපවීම, පරිත්‍යාගශීලිත්වය, ඉවසීම, තවක්කුල් හෙවත් අල්ලාහ්ට බාර වීම, ආදර්ශමත් දරුවන් ඇති දැඩි කිරීම සහ දෙමාපියන්ට කීකරු වීම වැනි යහ ගුණාංග සතුව ජීවත් වෙමු, අප සියලු දෙනා තුළ එවැනි උසස් ගුණාංග වර්ධනය කර ගැනීමට සහ මේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කරමු!

සර්වබලධාරී අල්ලාහ්, අප රටේ මෙන්ම සමස්ත ලෝකයේම, විශේෂයෙන් පලස්තීන ගාසා තීරයේ සාමය සහ සමගිය ස්ථාපිත කරත්වා! දුක් විඳින ජනතාවගේ තත්ත්වය දුරු කරත්වා! යි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ප්‍රාර්ථනා කරයි.

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති තුමා සහභාගී වී ‘විවිධත්වයේ එකමුතුකම’ මැයෙන් දේශනයක් ද පැවැත්වීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *