පලස්තීනයේ ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳ ඒකාබද්ධ ප‍්‍රකාශය

2025.05.07 – 1446.11.08

පැහැදිලි හෙළා දැකීම:

ඊශ්‍රායලයේ සියොන්වාදීන් විසින් ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන ලද ජනසංහාරය පිළිබඳව යුක්තිය බලාපොරොත්තුවෙන් අපි තරයේ හෙළා දකිමු. මොවුන් විසින් මාස ගණනාවක් පුරාවට රෝහල්, පාසල්, නිවාස, දේවස්ථාන හා සිවිල් යටිතල පහසුකම් මත බෝම්බ හෙළා විනාශ කොට ඇත. මෙය සාම්ප්‍රදායික යුද්ධයක් නොව, ආක්‍රමණිකයින් විසින් සිදුකරන ලද කුරිරු ආක්‍රමණයක් හා හිතාමතාම සිදුකරන ලද ම්ලේච්ඡ ක්‍රියාමාර්ගයක් හා වාර්ගික අතුගා දැමීමකි. මානව හිමිකම් උපදේශකයින් සහ බලවතුන් නිහඬව බලා සිටියදී කාන්තාවන් සහ ළමුන් ඇතුළු අහිංසක මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි කර ඇත. එවන් කුරිරුකම් හමුවේ මුනිවත රැකීම ඊට අනුබල දීමක් හා සමානය.

ජාත්‍යන්තර ප්‍රජාවෙන් කරන කාරුණික ඉල්ලීම:

ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු සංවර්ධිත රටවල නායකයින් සියලු දෙනා, පලස්තීනුවන්ගේ ජීවිත අහිමි වීම තවදුරටත් දේශපාලන පක්ෂපාතීත්වය හෝ ආර්ථික වාසි හේතුවෙන් යටපත් නොකොට, ඒවා නවතා දැමීමට තීරණාත්මකව හා කඩිනමින් ක්‍රියා කරන මෙන් අපි ඉල්ලා සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී සහ මානුෂීය අගයන්ට ගරුකරන අයවලුන් වශයෙන් ඔවුනට එරෙහිව සම්බාධක පැනවීම, යුද සහාය ලබා දීම සහ යුද අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවීම ආදී කරුණු සඳහා ක්ෂණික, අර්ථවත් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව අවධාරණය කරමු. මෙම ප්‍රචණ්ඩත්වය වහාම අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට ජාත්‍යන්තර සිවිල් සමාජය එක්සත් විය යැයි ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා රජයෙන් කරන කාරුණික ඉල්ලීම:

මේ කාරණය සම්බන්ධයෙන් ස්ථිර හා ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක් ගන්නා ලෙස අප ශ්‍රී ලංකා රජයෙන්ද තරයේ ඉල්ලා සිටින අතර ගාසා තීරයේ සිදුවන ම්ලේච්ඡ ක්‍රියාවලට ශ්‍රී ලංකාව නිහඬව හෝ එකග විය යුතු නැත. අප රට කරුණාව, යුක්තිය සහ ජීවිතයේ පරිශුද්ධභාවය මුල් කරගත් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඉගැන්වීම්වලින් පෝෂණය වූ රටකි. කුරිරුකම් සහ ජනසංහාර හමුවේ නිහඬව සිටීම සදාචාර විරෝධී තත්ත්වයකි. අප රටවැසියන්ගේ සදාචාරාත්මක හැඟීම පිළිබිඹු කරන ලෙසත් අපි අපගේ නායකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ආදරණීය ශ්‍රී ලාංකේය ප්‍රජාවට පණිවිඩයක්

මෙවන් වූ කුරිරු ජනසංහාරයක් හමුවේ, මනුෂ්‍යත්වයේ අගයන්ට ගරු කරමින් ස්ථිරව සිටින ලෙසත්, යාච්ඤාව, පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීම, දැනුවත් කිරීම සහ ඵලදායී සංවාදය ඇතුළු සාමකාමී සහ නීත්‍යානුකූල ක්‍රම හරහා පලස්තීනයට සහයෝගය ලබා දෙන ලෙසත් අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

අපි යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම, සාමය පවත්වා ගැනීම, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද අවධාරණය කරමු. අපගේ යුක්තිය සඳහා වූ තනි හඬ බලවත් හා සදාචාරාත්මක විය යුතු අතර ප්‍රචණ්ඩකාරී හා භේදකාරී නොවිය යුතුය. අපගේ හඬ ගෞරවාන්විතව, සදාචාරාත්මකව සහ නීතිමය සීමාවන්ට ගරු කරමින් නැඟිය යුතුය.

ආගමික විශ්වාසය /ආගම සහ දේශපාලනය:

ගෝලීය සිදුවීම් පිළිබඳව නිරවද්‍යතාවයෙන් හා සමබරතාවයෙන් අප හා අන් අය දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. බුදු දහම, හින්දු දහම, ඉස්ලාම් දහම සහ ක්‍රිස්තියානි දහම වැනි සියලුම ශ්‍රේෂ්ඨ ආගම් මෙන් යුදෙව් දහමද සාමයේ දහමකි. නමුත් සියොන්වාදය වැනි දේශපාලන මතවාද එවැනි කිසිදු ශ්‍රේෂ්ඨ දහමක් සමඟ ගැලපිය නොහැකි බවත්, දේශපාලන න්‍යායපත්‍ර ආගමික විරෝධී බවත් අප ඉතා පැහැදිලිව දන්වා සිටිමු.

එහෙත්, බටහිර රටවල බහුතරයක් දෙනා ස්ථාවර මතවාදයක නොසිටින බව අපි පිළිගන්නා නමුත් ලොව පුරා පීඩිත ප්‍රජාවන් සමඟ බොහෝ දෙනෙක් සහයෝගයෙන් පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් හඬ නඟති. බෙදීම, සතුරුකම පෝෂණය කිරීමට වඩා අවබෝධයේ පාලම් ගොඩනැගීම හා ගෝලීය සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට මෙය වඩා උචිත කාලයක් යැයි අදහස් කරමු.

නිගමනය:

අයුක්තියට එරෙහිව ගරුත්වයෙන්, ප්‍රඥාවෙන් සහ නීතියේ ආධිපත්‍යයේ රාමුව තුළ මුහුණ දෙමු. අපි යුක්තිය, සත්‍යය වෙනුවෙන් හඬ නැඟිය යුතුය. අපගේ හදකම්පා විය යුතුය. අපගේ ක්‍රියාවන් තුළින් අපගේ විශ්වාසයේ හා පුරවැසිභාවයේ උසස් පරමාදර්ශ පිළිබිඹු කළ යුතුය. අපගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවේ සාමය, සමගිය සහ ගෞරවය ආරක්ෂා කරමින් අපට යුක්තිය වෙනුවෙන් සටන් කළ හැකිය.

යුක්තිය ජයගනිත්වා! පීඩිතයන්ට සහනයක් ලැබේවා! ඒකාධිපති පාලනයට එරෙහිව නිහඬතාවය ආරක්ෂා කිරීම පාවාදීමක් බව අප කිසි විටෙකත් අමතක නොකළ යුතුයි.

All Ceylon Jamiyyathul Ulma – ACJU | Muslim Council of Sri Lanka – MCSL | Colombo District Masjids Federation – CDMF | National Shoora Council – NSC | All Ceylon YMMA Conference  – YMMA | Sri Lanka Jama’athe Islami – SLJI | United Thawheed Jamth – UTJ | Supreme Council of Sufi Thareeqas-( SCOT) | Salamah Society | All Ceylon Thawheed Jamath – ACTJ | Council for Community Initiatives – CCI | All Ceylon Union of Muslim League – ACUMLYF | RPSL Consortium | Al-Muslimath | Sri Lanka Muslim Media Forum | Advocacy & Reconciliation Council -ARC | All University Muslim Students Association – AUMSA | Association of Muslim Youth of Sailan- AMYS

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *